ඔන්න ඔහොම තවත් මාස කිහිපයක් හැලහොල්මනේ ගෙවීගෙන යනවාය. ඔය අතර මගේ මෑණියන් තුමියට නුවර පදිංචියට යෑමට අවශ්‍ය වෙනවාය. ඒකට හේතු ලෙස මගේ පියතුමා දශක දෙකක් පමණ නුවර රැකියාව කිරීමත් මෑණියන්ගේ කලා කටයුතු ප්‍රදර්ශන කටයුතු එහෙම කොළඹට සාපේක්ෂව නුවර කෙරීගෙන යන නිසාත් ය. එයට අපි සියලුම දෙනාගෙන් ඔබ්ජෙක්ෂන් නැතිවීම නිසාත් ඒ ගමන කන්ෆර්ම් වෙනවාය.
එයට මගේ අනුග්‍රහය ලැබීමට හේතු දෙකක් වෙනවාය. එකක් නුවර දේශගුණයට සහ කලක් ජිවත් වූ නිසා පරිසරයට ආස නිසාත් සහ මව්තුමිය නුවර සිටීමෙන් මම නිවාඩුවට ගාල්ලේ ගොස් හිතේ හැටියට ජෝගි නැටීමට පුළුවන් වෙන නිසාත්ය.
නුවරිනුත් ගෙවල් බලා ගාල්ලේ ගෙයත් කුලියට දී බඩු පටවාගෙන යන දවසට කලින් දවස උදා වෙනවාය.
මේ දවස අපේ ගෙදර පොඩි උත්සවශ්‍රියක් ගන්නවාය. නෑදෑයන් කිහිපදෙනෙක් මාතරිනුත්, මස්සිනාට වැඩ ඇති බැවින් අක්කා තනියමත්, අපි යන නිසා අහල පහල ගෙවල් වලින් උදව් පදව්වට කිහිපදෙනෙක් සමග උදේ දවල් රස කෑමත් මගේ යහළුවන් කිහිපදෙනෙකුත් හෝගාල බඩු පැක් කිරීමටත් අස්පස් කිරීමටත් උදව් වෙනවාය.
ඔය අතරම මේ ඔක්කොම කෑම කා පොඩි රෙස්ට් එකක් ගන්නා අතර මගේ යහළුවන් හවස ආයෙත් පැමිණෙන බව කියා විසිර ගියාය.
දැන් මට හිටිහැටියේම උණවටුනේ සහ දලවැල්ලේ සිටිනා යහළුවන් කිහිපදෙනෙකුට ටටා බායි කියන්ට උවමනා වෙනවාය. කිසිම තැනකට හිස් අතින් යෑමට අකමැති මට එහෙත් සල්ලි අතේ නැත. වහාම DC මිත්‍රයාට කෝල් කර ගෙදර ඉන්නවාද කියා බලා රුපියල් 1000/- ක loan එකක් ඉල්ලනවාය. බුවා ok කාලය. මම හැරෙන තැපෑලෙන් ගෙදරට බොරුවක් ගසා ඉක්මනට එනවාය කියා DC ගේ ගෙදරට ඉගිලෙනවාය.
මොකෝ ටික්ක හදිස්සිය සල්ලි වලට..??
නෑ බන් DC, දලවැල්ල ට පොඩ්ඩක් ගිහින් උන්ටත් කියල එන්නම්. පැට්‍රෝල් ගහන්නවත් සල්ලි නෑ බන්.
හිටපන් මමත් එන්නං.
නෑ බන් අවුලක් නෑ. මම ඉක්මනට ගිහිල්ල එන්නම්. ගෙදරත් වැඩ අම්බානක.
ok ටිකක. බුදු සරණයි. පරිස්සමින් ගිහිල්ල වරෙන්. හවසට සෙට් වෙමු හොඳේ.
(ඒ රුපියල් 1000 න් මම මුලින්ම කලේ රුපියල් 400 ක dialog card එකකින් phone එකට සල්ලි දමා තවත් රුපියල් 100 ක පෙට්රෝල් ගැහීමත්ය.)
දැන් මම කෙලින්ම දලවැල්ලට පියාබනවාය. මම යනකොටත් එතන පොඩි කලබලයක් පටන්ගෙනය. (ගාල්ලේ අපේ භාෂාවෙන් කලබල කරනවා කියන්නේ සෙට් වෙනවා කියන එකේ slang වචනයය.)
එක ෂොට් එකෙන් නවත්වනවා කියු මට, එක දෙක වෙනවාය. දෙක තුන වෙනවාය. තුන හතර වූ විට දැනට නම මීටර් එකට එන්නේ නැති අයියා කෙනෙක්,
ටික්ක මල්ලි, ඔය ඇති කොල්ලෝ බිව්වා.. දැන් උබ ආයෙ ගාල්ලට යන්නත් ඕනනේ. උබ පරිස්සමින් ගෙදර පලයන්. උබ ආයෙ ගාල්ලේ අවොත් මේ brothers ල බලන්න අනිවාර්යයෙන්ම වරෙන්.
කියා කියුවිට සැමට සමුදී මම ගාල්ලට එන්න පිටත් වෙනවාය.
දැන් මේ කට්ට අවුවේ මම මෝටර් බයිසිකලයෙන් විදගෙන ගාල්ලට එනවාය. මුහුදු හුළඟ, කාෂ්ටක අව්ව මගේ බඩේ සිටිනා මිස්ටර් ඇල්කොහොල් තුමාගේ සිහි විකල් කරනවාය.
උණවටුන පහුවෙනවාය. සිමෙන්ති පැට්ටේරියත් පහුකරගෙන ඉස්සරහට වේගයෙන් එනවාය. සම්බෝදියත් පහු උනාය. දැන් අර ගහපු ෂොට් වල power එක double, trible වෙනවාය. දැන්නම් හොඳටම බඩුය. ඔය අතර මගේ ඇස් දෙක හැම තප්පර පහකට සැරයක්ම බැලෙන්නේ මීටර් එක දිහාය. speed එක පනහ හට වෙනවාය. හැට හැත්තෑව වෙනවාය. ආයෙත් හැට වෙනවාය. මේක මට ෆුල් ආතල් සීන් එකකුත් වෙනවාය.
දැන් සිටින්නේ මාගාල්ල නේවි කෑම්ප් එක පසුකරමින්ය. ගෙදරයන කෙටිම ක්‍රමයනම් නේවි කෑම්ප් එක කෙලවරින් හැරෙන්නේ නැතිව කෙලින්ම පෙට්ටිගලවත්ත පාරෙන් ගොස් ටැල්බට් ටවුම හරහා කරාපිටිය පාරට දමා ගෙදර යෑමය.
ඒත් මීටරය බලමින් සහ වේගයෙන් යන ගමන ඊට වඩා මට ආතල් සමග ෆුල් සැපක් දෙන බැවින් ආපු වේගයෙන්ම නේවි කෑම්ප් වංගුව ගන්නවාය. වේගය කොතරම්ද සහ මට එම වේගය කොපමණ සැපක් දුන්නාද කියනවානම් මම ඒ මාරක වංගුව ගන්නේ double ඉරි කපා අනිත් මාර්ගයෙන් කාලක් පමණ මගේ පියාගේ යයි සිතාය.
පින්වතුනි...!!
දෛවය වෙනස් වේ...!!
ඒ වංගුවෙන් මීටර් කිහිපයක් ඉදිරියෙන් තිබෙන බුදු පිළිමය ඉදිරිපිට සිටින්නේ පොලිස් මෝටර් බයිසිකල් තුනක් හතරක් නවත්තාගෙන පාරේ ට්‍රැෆික් රාජකාරියේ යෙදී සිටිනා පොලිස් නිලදාරීන් හත්අට දෙනෙකි. මම double ඉරි කපන්නේ මේ නිලදාරීන් සිටින්නා ප්‍රසිද්ද වේදිකාව ඉදිරිපිට දීය.
එකෙක් ඉදිරියට පැන ට්‍රම්පට් එකක් ගහන්නා සේ කම්මුල් දෙක උලුප්පාගෙන විසිල් එක ගහගෙන අතත් පාරට දමාගෙන පාරට පැන මාව නවත්වනවාය.
මම ඔබතුමන්ලාට කලින් කිව්වා සේ (මම යම්කිසි ප්‍රතිශතයකට නිතිය පිලිපදිනවාය යන්න) මම බයිසිකලය නවත්වනවාය. ඒ සමග ඒ පොලිස් (මගේ නුවර යහළුවෙක් දවසක් පොලිස් නිලදරුවෙකුගේ මුහුණටම ඔහුව describe කලේ "දවල්ට පොලිස්, රෑට S.I. ගේ පොල්ල පොලිෂ් කියලාය) කරු මමවෙත පැමිනෙනවාය.
කොහෙද මහත්තයා මේ double ඉරි කපාගෙන හදිසියේ යන්නේ ආ..
නෑ.. මම මේ හදිසි වැඩකට ගෙදර යන ගමන්.
හා හා කමක් නැහැ. ගන්න බලන්න ලයිසන් ඉන්ෂුරන්ස් එහෙනම්.
හරි වැඩේ, මම මේ හදිසියට එනගමන් ලයිසන් ඉන්ෂුරන්ස් දෙකම ගෙදර දාලනේ ඇවිල්ල තියෙන්නේ.
(ඔය අතර මහත්තයා යන විශේෂණ පදය වෙනස් වෙනවාය, ඒ බුවා පොලිස් සුනඛයෙක් ලෙස ඉව අල්ලමින් මගේ මුහුණටම එබෙනවාය.)
උබ අරක්කු බීල නේද..??
නෑ, මම මේ බියර් බෝතලයක් බිව්ව.
උබ %රිය බීල එලවල, ඉරි කපල, ලයිසන් ඉන්ෂුරන්ස් නැතිවත් එලවල, උබ මොකක්ද මේ දාගෙන ඉන්න හෙල්මට් එක ඈ.. උබ %රිය. දැනටමත් වැරදි 4ක් කරල තව බොරුත් කියනව.
(මේ අතර ඔහු ඔහුගේ උසස් නිලදාරියෙකුට කතා කරන ගමන්....)
උබේ අම්මට &6%න්න උබ කවුරු කියල හිතන්ද මෙහෙම යන්නෙ &රියෝ ඈ...
(කියලා අහනවත් සමගම ඔහුගේ අතින් මගේ normal system mode එක fuck off mode එකට switch වෙනවාය..
මොකක්..?? උබ කවූද මිනිහො මගේ අම්ම මතක් කරන්න ඈ. ඒක කරන්න තාත්ත ඉන්නව. උබ දැනගනින් මිනිහෙකුට කතා කරන්න ඉස්සරවෙලාම. ඔව් මම වරදක් කළා. බිව්ව. ඉරි කැපුව. මාව පොලීසියට එක්කරගෙන ගිහිං නීතිය කරනව. නිකන් මේ කුණුහබ්බ කියන්න එපා හරිද. ඔය සූට් එක ඇඳගත්ත කියල ඔහේ නගරාධිපති නෙමෙයි. අනික අපිත් සත්තු නෙවෙයි ඔහෙලගෙන් බැනුම් අහගන්න හරිද. ඕවට ලැහැස්ති වෙන්න එපා..
(ඔය වගේ තවත් වචන කිහිපයක්ම මගේ ශ්‍රී මුඛයෙන් පිටවෙනවාය.එව්වා හරියටම මට මතක නැත. හැබැයි ගොඩක් එව්වා පොලිසියට එරෙහිවය. අනික ඒ කිව්වේ මගේ බඩේ සිටිනා මිස්ට ඇල්කොහොල් මිසක් මම නෙමේය..)
කියනවාත් සමගම උසස් නිලදාරියාත් එතනය.
සර්.. මුගේ කට වැඩියි. දැක්ක නේද කතා කල විදිහ. දෙන්න එපා සර් මූට ඇප. කෙලින්ම උසාවි දාමු.
උසස් නිලදාරියාගේ නියෝගයෙන් මම සීට් එකේ පස්සට යනවාය. ඔහු බයිසිකලය පනගන්වාගෙන මමත් රැගෙන පොලිසියට යන අතර අර නිලදාරියාත් තවත් පොලිස් බයිසිකලයකින් මගේ පස්සෙන් එනවාය.
දැන් මට එලොව පොල් මෙලොව පෙනෙනවාය. මේ අතර මගේ බයිසිකලය පොලිස් අත්අඩංගුවට පත්වී මම පොලීසිය ඇතුලට ගෙනියනවාය.
දැන් මුන් කරන්න හදන්නේ බැළුම් බෝල පරික්ශාවයි. ඒ අතර තවත් එකෙක් මගේ phone එකයි helmat එකයි purse එකයි අත්අඩංගුවට ගන්නවාය.
එකෙක් බැලුම් බෝලයක් දී පුම්බන්න කියනවාය. තව එකෙක් හය්යෙන් පුම්බන්න කියන්නේ හරියට ෆූට් බෝලයකට කටිං හුලන් ගන්න කියනවා වගේය.
ඒ පරික්ෂනයෙනුත් මම ඇති දරුණු විදිහට අසමත් වෙනවාය.
තව එකෙක් මට last chance එකක් දෙන්නේ එක දුරකථන ඇමතුමක් මගින් ගෙදර අයෙකුට පොලිසියට පැමිණෙන ලෙස කියාය.
ඒ අවස්තාව අවසාන අවස්තාව බැවින් ගෙදර උදවිය කෙසේ වෙතත් DC ගේ මලයා වන ගාල්ලේ සාර්ථක වියාපාරිකයෙකු වන දරේ ට කෝල් කරලා සිද්දිය කෙටියෙන් කියනවාය.
තව විනාඩි කිහිපයකින් මාව පොලිස් කූඩුවට දමනවාය.
ඉතා කුඩා කාලයක් තුල දරේ තමන්ගේ වියාපාරික ස්ථානය වසා පොලීසියට වාර්තා කරනවාය. ඒ වගේම ඉතා යුහුසුළුව පොලිස් නිලදාරීන් උසස් නිලදාරීන් සමග කතා කරනවාත් කුඩුවේ යකඩකුරු ගනිමින් සිටින මට පෙනෙනවාය.
ඔය අතරම පොලිස් නිලදාරීන් ඔවුනට කතා කරන්නේ මවිසින් බල්ලොන්ගේ අධෝ මාර්ගයට පෙට්රෝල් ගසා කුලප්පු වු බලු රැලක් මෙනි.
දරේ දැන් මා වෙත එනවාය.
ටික්කො.. මොකෝ බං මේ කරගත්තේ. උබ උන්ට කතා කරලා තියෙන විදිහටනම් ශේප් එකක් දාගන්නනම් බැහැ වගේ. මොකෝ බන් දැන් කරන්නේ..?? මට මොකුත් කරගන්න බහ බන්.
අනේ පුලුවන්නම් දරේ එහෙනං ගෙදරට කෝල් එකක් දාපං. මම පොලීසියේ විතරක් ඉන්නව කියපං. වෙන මොකුත් කියන්න එපා මචං.
ගෙදරට කෝල් කල දරේ, තමන්ගේ අයියා හෙවත් DC හැකි ඉක්මනටම මෙතනට එවන බවට පොරොන්දු වී වියාපාරික ස්ථානයට යන්න ඕනි කියා යනවාය.
ඒ අනුව DC සහ තවත් කිහිපදෙනෙක් පොලීසියට ආවත් මා සමග කතාවට ඉඩ දෙන්නේ නැත.
තවත් විනාඩි කිහිපයක් මට ප්‍රදර්ශනය වන්නේ මගේ මව පියතුමා සහ අක්කා තුමිය පොලීසියේ ඉහල නිලදාරියෙකුත් සමග මම දිහා බල බල කතාකරනවාය.
මගේ මව්තුමියගේ ඇස් වලින් මාව දුර සිට අනුභව කරනවාය. සහෝදරිය mike tyson මෙන් අත්දෙක ගුලි කරමින් සිටිනවාය.
හැබැයි පියතුමාගෙන් කිසිම reaction එකක් නැත. එය මගේ බිය දෙගුණ තෙගුණ කරනවාය.
මේ අවස්ථාවේ මට සිහිවන්නේ පාතාලයේ දරුණු ගනයේ අපරාදකරුවන් සිරගෙදර සිටීමට කැමති ඔවුන් එලියට පැමිණියහොත් ඔවුන්ගේ විරුද්ද කණ්ඩායමෙන් මැරුම් කෑමෙන් වැලකී සිටිය හැකි නිසාය යන හේතුවය. දැන් මම ඉන්නෙත් එවැනිම අවස්ථාවකය. දැන් මම එලියට ආවොත් මගේ ඉහේ කෙස් ගහක්වත් ඉතුරු වන්නේ නැත.
මව් තුමිය පළමුව සිරමැදිරිය දෙසට එනවාය. එතුමියගේ ශ්‍රී මුඛයෙන්,
යකෝ. පර බල්ල. තෝ අපේ නම්බුව වැනසුවා. තොට අඩුවට තිබුනේ හිරේ ලගින එක විතරනේ. දැන් තෝ ඒකත් කරගත්ත. මම අද තෝව මරනව පරයා. යකෝ අපි කවදාවත් පොලීසියේ රස්තියාදු උන මිනිස්සුද? අපි කොහොමද යකෝ පාරේ බැහැල යන්නෙ..?? තොපි මදාවියෝ විදිහට හැසිරුනා මදිවට අපිත් පොලීසියට ගෙන්නල එක එකාට කියල බැනුම් අස්සනව. මේ අත්දෙකෙන් තොපේ කැතකුණු අතගාල තෝව උස්මහත් කලේ මෙහෙම නරකාදියක තෝව ඉන්නව දකින්නද බල්ලෝ ..? මම අද තෝව ඉතුරුකරන්නෙ නැහැ.
අම්මා නවත්තන තැනින් ඊළගට පටන්ගන්නේ අක්කාය.
අනේ අම්මේ බලන්නකෝ මු කරන දේවල්. අර මිනිස්සු දැනගත්තොත් අපි ගැන මොනවා නොහිතයිද? මම අද තෝව හැම ගහනව. අර පේන්නේ නැද්ද මුගේ ඇවිල්ල තියෙන සහචරයෝ.. මු වගේම තමයි. මම අද තෝව පණපිටින් වලලනව..
කියන ගමන්ම අම්මා සහ අක්කා ගහන්න සිර මැදිරියට ඇත පයත් විසික්කරන ගමන් මම එයින් බේරෙන්න වචනයක් වත් කියන්නේ නැතිව එහෙට මෙහෙට පනිනවාය.
ඔය අතරම දරේ වියාපාරික ස්ථානය වසා ආයෙත් පැමිනෙනවාය. දරේ අපේ ගෙදර ය හොඳටම දන්නා බැවින් ඔහු සමග දෙමාපියන් සමග අක්කාත් කතා වට වැටුන වෙලේ මට පොඩි විවේකයක් ලැබෙනවාය.
දැන් මට හොඳටම චු බරය.
අසල සිටි කොස්තාපල් කෙනෙකුගෙන් වැසිකිලිය විමසු විට ඔහු කීවේ ඇතුලටම යන ලෙසය.
ඔන්න මම යනවාය.
ඒ වැසිකිලියට යෑමට විශේෂ මුහුණු සහ නාස් වැසුමක් අවශ්‍ය වූ නිසා සිර මැදිරියේ කොනකට ගොස් ශරීර අවශ්‍යතාවය කරගත්තාය.
දරේ නැවතත් මා අසලට පැමිණ කීවේ මට ඇප දීමට පොලිසිය කිසිම සුදානමක් නැති බවය.
ඒ මදිවට හෙට අනිවාර්යයෙන්ම උදේම අපි නුවර යා යුතු බැවින්, එය වලකුනහොත් ඔවුන් මම වලලනවා බුදු ෂුවර්ය.
මේ වෙනවිටත් තාත්තාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත.
දැන් DC මම ලඟට ඇවිත් කියන්නේ...
ටික්ක.. අන්න උබේ තාත්තගේ යාලුවෙක් එන සීන් එකක් කතා වෙනව. මොකක්හරි කරගන්න පුළුවන් වෙයි බුවාගෙන්..
කියලාය.
මට තාත්තාගේ යහළුවාගේ නම ඇසූ පමණින් මම එලියට ආ සමාන සන්තෝසයක් එනවාය. මොකද ඒ අංකල් ට යම්කිසි දෙයක් කරගන්න පුළුවන් කලින් ආරක්ෂක අංශයේ කිරිතිමත් රැකියාවක් කල පුද්ගලයෙක් වගේම මම එක්කත් ටිකක් හිතවත් අයෙකුත් වෙනවාය.
තවත් පයකට පමණ පසු අන්න ඒ අන්කල් තුමා මම වෙතට එනවාය.
මොකක්ද ටික්කො මේ කරගත්තේ?.. බය වෙන්න එපා. මම එලියට ගන්නම්. බයිසිකලෙත් ගන්නම්. මොකද උබල ඔක්කොම හෙට නුවර යන්නත් එපැයි.
හනේ අම්මේ.. මට නිකන් නිවන් දැක අයෙත් පෘතක්ජන මිනිහෙක් බවට පත්වුනා වගේය.
සියල්ල අන්කල්ගේ පිනට මගේ අවාසනාවට හරියට කෙරුනාය.
ටිකකින් එක නිලදාරියෙක් සිර මැදිරිය අරින යතුරත් රැගෙන දොර ඇර මට එලියට එන්න කියනවත් සමගම මම අඩි කිහිපයක් ඉදිරියට එනවාත් සමගම.....,
මගේ පියතුමා.... ඉදිරියට පැමිණ... කන හරහා.... දැවැන්ත පහරක් චටා......ස්..!! ගා එල්ලකර එක දෙයක් පැවසුවාය...
මම ජිවතුන් අතර ඉන්නකං තෝ බීල පාරේ ගිහිල්ල බල්ලෙක් වගේ මැරෙනවා දකින්න පව් කරන්නෙ නැහැ යකෝ..
(එයින් මගේ දෑසට කඳුලක් ආවේ ගහපු කනේ පාරේ සරට නොව, පියතුමාගේ මම කෙරෙහි ඇති ආදරය හරියටම පැවසු නිසාය..)
ඊළඟට දුව එන්නේ මගේ මව සහ සහෝදරියය.
පොලීසියේ සහ මගේ මිතුරන් සියලුම දෙන ඉදිරියේ මම මව සහ අක්කාගෙන් ගුටි කන්නේ හරියට ටවුමේ ගැහැණියකගේ පසුම්බිය හොරාගෙන දුවපු හොරෙක් අසුවී වටේ පිටේ ගැහැණුන්ගෙන් ගුටි කනවා වගේය.
මගේ ලැජ්ජා නහර කැපුන තැන් දැන් මට හොයාගන්නවත් නැතිය. වහාම ඉදිරිපත්වූ අන්කල් තුමා එතැනින් මාව ගලවාගෙන, පොලිසියේ ඉතුරු ලිපිගොනු වැඩ කරවාගෙන මාව නිදහස් කරගත්තාය.
(දැන් එම අවස්ථාවේ highlights මෙහෙමය..)
DC, සහ දරේ ඉදිරිපත්වී, මගේ මෝටර් බයිසිකලය එලියට ගත්තාය. ඒ වගේම ගෙදරටම ගෙනත් ලොයියටම පැටෙව්වාය.
අන්කල් විසින් පොලීසියේ නිවේදනය පරිදි සති දෙකකට පසුව එළඹෙන බදාදා උදේ 10.30 ගාල්ල කොටුව උසාවියේ නඩුවට පෙනී සිටිනා ලෙස දැන්වූ අතර ඔහු විසින්ම ලෝයර් කෙනෙකුත් සොයා දෙන බවට කියුවාය.
සියලුම බඩු සමග පියා ලොරිය සමග නුවර ගිය අතර, මම තුමා, මව සහ සහෝදරිය සමග බසයෙන් නුවර යනගමන් කල්පනා කලේ මවිසින් ජිවිතයේ කල පව්, ගන්දබ්බ තත්වයට පත්වූ ජීවියෙක් විසින් සජීවීව බලා ආයෙත් නරකාදියට යනවාද, යහපත් මිනිහෙක් වෙනවාද යන මද්‍යස්ථ අවස්ථාවේ සිටිනා එලොවටත් නැති මෙලොවටත් නැති ජීවියෙකු මෙනි.
ප. ලි.: මෙහි අවසාන කොටස උසාවි යෑමෙන් අවසාන වේ. උසාවි ගිහිල්ලත් දෙපාරක් රස්තියාදු වෙන අවස්තාව ඇතුළුව මට තවත් පෝරියල් කිහිපයක් ලෙසටම සෙට් වෙනවාය.
පසු වදන
මම ඔබතුමාලගෙන් කාරුණික ඉල්ලීමක් කරනවාය. ඉහත සිදුවීම මම සිනා මුසු ස්වරයෙන් ලියුවත්, ඔබ තුමාලාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලන්නේ, කවදාවත් බීමත්ව බයිසිකලයක් ත්‍රි රෝද රථයක් හෝ රෝද හතරකවත් නොයන ලෙසයි.
එදා පොලීසියට අහුවෙන්නේ නැතිව දරුණු අනතුරකට මම මුහුණ දුන්නානම් අද මේ ටික ලියන්න මේ ටික්කා නැත.
ජිවිතයේ ඉතා තරුණ අවදියේ මම කල කී දෑ, දැන් මතක් වෙනකොට, අදටත් මගේ ඇත පය වෙව්ලනවාය. මොකද ජිවිතයේ Undo button එකක් නැතිය.
බොහොම කණගාටුවෙන් මම මේ ටික ලියන්නේ, ඉතා දරුණු මෝටර් බයිසිකල් අනතුරුවලින් මේ වෙනකොටත් මගේ බොහොම හිතවත් හොඳම යහළුවන් තිදෙනෙකු ජිවිතයට සමු දී ඇත.
ඔබට ස්තුතියි.
ඊළඟ සතියේ හමු වෙමු.
මීට,
ටික්කා...
පොලීසියේ උත්තමයන්ට හරියට කතා කොරන්න ඉගැන්නුව එක ගැන නම් බොහෝම හොදය. මොකද ලොකු පොරක් දැක්කොත් සර් කියාගෙන ඇකිලෙනවා. අසරණ දුප්තෙක් දැක්කාම පරයෝ කියාගෙන පුප්පනවා.
ReplyDeleteමචං අසංග. ඔය පොලිස් නිලදාරින්ට මොන නිළයේ උනත් සර්, මහත්තයා කියල කතාකරන්ටවත් දෙකට නැමෙන්න වත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් කරන සමාජ සේවය සඳහා ගරු කරන එක වෙනම කතාවක්. උබල අපි රස්සාවක් කරල පඩි ගන්නව. ඒ මිනිස්සුත් රස්සාව කරල පඩි ගන්නව. ඒකත් හරියට දොස්තරලා එනකොට නැගිටිනවා වගේ වැඩක්. මෙහේ වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත මචං.
Delete👊🏽
තාත්තගෙ යාලුව හිංද යන්තම් ගොඩගිහින් :)
ReplyDeleteමගෙත් යාලුවෙක් බීල බයික් එකකින් යන්නම ගියා :( වැඩිම මාසක් ඉන්නැති ඒකෙන් පස්සෙ අපෙ උන් බීල බයික් නොපැද . රටේ නැති හිංද දැන් යහතින් ඉන්නව :)
උබ හරි මචං. ආයෙ අහල. මම මේ ලඟදි මගේ මේ පොස්ට් එකේ ඉන්න යාලුවට කෝල් කළා. එතකොට බුවා හිටියෙ උණවටුනේ. මම ඇහුව මොකෝ කලබලයක් කරනවද කියල. බුවා කිව්ව මොන පිස්සුද ටික්ක. දැන් බීල අහුඋනොත් 25,000/- ක්. මේ ආපු වැඩේ කරගෙන ගෙදර යනව බං කියල.
Delete👊🏽
දැන් වෙලාව පාන්දර 1.40 යි හෙට වැඩට යන්න තියනවා නිදා ගන්නේ නැද්ද අයියේ කියලා සදු කෑ ගහනවා හෙට එන්නම් දිග කෙමෙන්ට් එකක් දාන්න
ReplyDeleteඈ බං මෙන්ඩෝ.. 🙉.. පාන්දර 1.40 වෙනකං මොනව කරනවැයි..?? මම නම් උබේ ශිෆ්ට් එකේ සම්පුර්නම අනිත් පැත්ත කරන්නෙ. හරි එහෙනං හෙට හම්බවෙමුකෝ.. 🤛🏽
Deleteඅවුලක් නෑ. මෙන්ඩ ඔෆිස් ගිහිල්ල කරන්නෙත් ගෑණුළමයි වට කරගෙන නිදා ගන්න එකනෙ. හැක්..
Deleteඈ බං Praසන්ன යෝ..!! "සදු කෑ ගහනවා" කියල කිව්වහම කවුද ඒ සදු කියල අහන්න ගිහිල්ලත් මම ඇහුවේ නැහැ. යකෝ මූට තියෙන සැප. 🙉. මට නිකං මොකද වගේ..
Deleteසදු මගේ ආදරණිය බිරිද ...මට ආදරය කරන කෙල්ලෝ 1012 ක් හිටියට මම ආදරය කරන එක්කෙනයි ඉන්නේ
Deleteඅන්නේකයි. මූට ගෙදරින් කන්න නැති කරන්න එපා. හැක්..
DeletePraසන්ன හායි ! මකුවටකම් නැ ඔයාව දැක්කත් ඇති අනේ !
Deleteගිය සැරේ පොස්ට් එකේ මගේ කෙමෙන්ට් එකට උබ උත්තර දීලා නැහැ තරහයි තරහම තරහයි ....ආය මාය ජීවිතේට යාළු වෙන්නේ නැහැ ....
ReplyDeleteඅම්මා කිවත් අක්කා කිව්වත් නංගි කිව්වත් යාළු වෙන්නේ නැහැ
අඩේ මෙන්ඩ බ්‍රදර්..!! සැන්ට මෑණියනේ එහෙම කරන්ට එපෝ මහත්තයෝ. ඉන්න මේ ටිකත් තරහවෙලා ගියාම මට පව් නේ බං.. හා ද..?
Deleteමේ ෆෝන් එකෙන් බ්ලොග් ලියද්දී රිප්ලයි කරද්දී එකක් දෙකක් මිස් වෙනවා බන්. මෙව්වා ලියන්නෙත් බස් එකේදි කෝච්චියේදී.. දවස් 6ම ෆුල් ටයිම් නයිට් රස්සාවක් කරන නිසා ගෙදර කොම්පියුටරේ අන්තිමටම ඇල්ලුවේ පලවෙනි පොස්ට් එක ලියද්දි. ආයෙ පොස්ට් එකක් ලියන්න ගියොත් දවල් වරුවට නිදාගන්න එකෙන් තව පැය 3ක් 4ක් කෙලවෙනව.
ඔන්න ඕක අල්ලලා දාහන් හොඳ එකා වගේ. කොමෙන්ට් කරුවෙක් වශයෙන් මටත් හිටි ගමන් මල පනිනව සමහර බ්ලොගර් ලා රිප්ලයි නොකරනකොට. ඒත් ලියන්නාත් කියවන්නාත් කොමෙන්ට් කරන්නාත් සියලුම දෙනාට ඇති රාජකාරි වැඩ කටයුතු අස්සේ මේ දේවල් සම්බන්දවත් මම තුමෝ තේරුම් අරගෙනයි ඉන්නෙ..
උබල අපිට බොහොම වටිනවා මෙන්ඩෝ..!!!
👊🏽
උබ එල්ලෙවත් මම මේ බ්ලොග් එක දාලා යන්නේ නැහැ
Deleteහැක්.. නියම පෝරියල් එකක්නෙ සෙට් වෙලා තියෙන්නෙ. උඹ පොලෝසියෙන් එළියට ආවට පස්සෙ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් ඔය තරමින් බේරිච්ච එක ගැන සතුටු වෙයං.
ReplyDeleteමම බීල එලෝලනං මේ වෙනකල් පොලීසියට අහුවෙලා නෑ. එකපාරක් දකුණෙ හෙඩ් ලයිට් එක නැතුව ඇවිල්ල නවත්තල ලියපු පොරට මිස්ටර් ඇල්කොහොල්ලැගෙ සුවඳ එනකොට දඩ කොලේ ලියල ඉවරයි. ලයිට් කේස් එකකටම තවත් නවත්තපු එකෙක් එතන හිටපු නිසා ඌද මංද බිව්වෙ කියල දෙන්නගෙන් අහනකොට මම දඩ කොලෙත් අරං මාරු උනා.
මචෝ Praසන්ன. මම මේ "ගෘහස්ත ප්රචණ්ඩත්වය" කියන වචනය ඔලුවට එනකන් කල්පනා කලත් ආවෙ නැහැ. ඒක තමයි හරිම වචනෙ.. ස්තුතියි මචෝ.
Deleteඋබනම් ටච් වුඩ්. හරිම වාසනාවන්තයෙක්. බීල ඉඳලත් පොලිසියට හොයාගන්න බැරිව මාරු වෙලා යන්න තරම් ලක් එකක් තියෙන්ට. ඔය පොලිස්කාරයන්ට බල්ලොන්ට වඩා ලොකු ඉවක් තියෙනව විශේෂයෙන්ම අපි වගේ පොඩි මිනිහෙක් බීල හෝ වැරද්දක් කරලා අල්ලගන්න තරම්.
උබ ඊළඟ පොස්ට් එක කියෙව්වහමනම් හිතයි මට වෙන වැඩ හැටියට 1.5ව බැටරි කෑල්ලක් ඇල්ලුවත් කරන්ට් එක වදින ජාතියේ ඩයල් එකක් කියල.
හෙඩ් ලයිට් තිබෙද්දිත් දාන්න මතක නැතුව ගිහින් ( කොලඹ පාරවල්වල හොඳට එලිය තියන කොට එහෙම වෙනවා මට ) පොලීසියෙන් කියල තමයි දාන්නෙ
Deleteඒ කියන්නේ ප්‍රා.. මුගේ මිස්ටර් ඇල්කොහොල් හොඳටම වැඩ කරල.. :D
Deleteප්‍රා, දාන්නැතුව ගිහින් නෙමෙයි දාගෙන ගියේ. දකුණු පැත්තෙ එක වැඩ කළේ නෑ. ඒකට ඇත්තටම දඩයක් ලිවුවෙ නෑ ලයිට් එක දාල පොලීසියට පෙන්නන්න කියල ලයිසන් එක තියාගෙන ටැම්පරියක් දුන්න. අර කේස් එක අහුඋනානං කෙලින්ම පොලීසියෙ තමයි.
Deleteටික්කෝ.. ටික්කෝ.. උඹ බීල දලවැල්ලේ ඉඳල මාගල්ලට එනකම්ම මම ඇඟේ ලේ පිච්චි පිච්චි හිටියේ දැන් දැන් මේකා කොහේ හරි ඇන ගනියි කියල.. පොලොසියෙන් නැවැත්තුව කියුවම තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
ReplyDeleteහැබැයි ඔය *රි පොලිස් කාරයෝ ඉස්සරහ ඕනෙවට වඩා දෙකට නැමෙන්නත් හොඳ නෑ. මටත් හෙන පාඩු වෙලා තියෙනවා කට ගහගෙන ගිහිං. මාත් එක්ක වාහනේ යන වෙලාවක වැරදිලා හරි පොලිසියෙන් නතර කරොත් මටත් කලින් බිමට බහින්නේ අපේ උන්දා.. ලමයවත් වැදගෙන ගිහින් උන්දා ආගිය කතා කතා කරලාත් ඉවරයි ලයිසන් ඉන්සුවරන්ස් අරං මම බහිනකොට. නහ්නන් මම වැඩේ වන කර ගන්නවා කියල දන්නවා.
අර පස්සේ රතු පාටින් දාපු ටිකට මගේ සැලියුට් එක!
මචං කල්‍යාණ..
Deleteඋබට මගෙන් උණුසුම් සුභ පැතුම්. මම ඊයේ රෑ නිව්ස් බලනකොට උබ සහ පැරා tv එකේ දැක්ක. ස්වර්ණවාහිනී නිවුස් වල.. බොහොම පොඩි 30 සෙකන්ඩ් වගේ නිවුස් එකක්. සන්තෝසයි මචෝ.
\\..උඹ බීල දලවැල්ලේ ඉඳල මාගල්ලට එනකම්ම මම ඇඟේ ලේ පිච්චි පිච්චි හිටියේ දැන් දැන් මේකා කොහේ හරි ඇන ගනියි කියල.. //
ඒ කියන්නේ උබ මේක ඇඟටම අරන් කියවල වගෙයි. මමත් සන්තෝස වෙනව මට හැකි පමණින් සජීවීව ලියන්ට පුළුවන් වීම ගැන. මේක වුනේ දැනට අවුරුදු 16කට විතර කලින්. සමහරක් දේවල් දැනටමත් අමතකයි. DC, දරේ නැතුව ගොඩක්ම ලඟින් ආශ්‍රය කල අයගෙ නම් වගේම ගාල්ලෙ ස්ථානත් දැනට අමතකවීගෙන යනව. අපිත් වයසට යනවනේ බං.
මටත් ලංකාවේ පොලිස් කියන ජාතිය කෙසේ වෙතත් උන්ගේ කාකි ඇඳුම දකිනකොටත් වහ කදුරු වගේ.
උබ දන්නවද? උබේ වයිෆ් ගේ තියරියම තමයි මගේ සහෝදරිය ලංකාවේ ඉන්නකොට එයාගේ හස්බන්ඩ් ළමයි එක්ක වාහනයේ යනකොට කරන්නෙ. මම හිතන්නෙත් එක්කෙනෙක් demon වෙනකොට අනිත් කෙනා angel වෙන්නම ඕනි.
උබේ සම්මාන උළලේ වේදකටයුතු වලට සුභ පතනව. පරිස්සමින් වේද ටික කරගනින්.
මම උන්න නම් ගස් බැඳලා දිමි ගොටු දානවා!
ReplyDeleteහයියෝ ලිඛිතා.. මාව ලැජ්ජාවට පත් කරන්ට එපා. ඔය දිමිගොටු දාන තරම් ප්‍රාථමික දඬුවම් මට පොඩි කාලෙත් ගෙදරින් දීල තියා එහෙම දේවල් තියෙනව කියල අම්ම දැනගෙනත් ඉන්නෙ නැතිව ඇති. මට ලැබුනෙම හරියට ජිවග්රහණයෙන් ආරක්ෂක හමුදාවට අහුවුන ත්‍රස්තවාදී නායකයෙකුගෙන් information ගන්න හදන විදිහේ දඬුවම්.
Deleteදවසක් මම රුපියල් පනහක් හොරකම් කරල fighter මාළුවෙක් අරගෙන ඇවිල්ල අහු උනහම මම සම්පුර්ණයෙන්ම ඇඳුම් ගලවල cricket stump එකක උද කොටස දෙකට කැඩෙනකන් ගහල තියෙනව.
කොහොමද..??
සැපයි නේද..??
හා ද..?
🙉
Tikkath hari wada thami karala tiyenne.oya kala kanni bn minihekuta katha karanna dannena bn.
ReplyDeleteMonawa karannada waulage magui gadara giyama uta oni wediyata ne inna oni..
Bela motorcycle aka padapu aka nam warid suda...
තරිඳු මචං. ඒ පිස්සු කාලෙ කල වැරදි මෙහෙම ලිව්වෙ ආයෙම මෙහෙම එව්වා කරන්ට එපා හැබැයි කලොත් ලැබෙන ආනිසංස පෙන්නන්න.
Deleteහැබැයි මමත් මගේ යහළුවනුත් පොලිස් කාරයොන්ගෙන් ෆුල් ෆන් අරගෙනත් තියෙනව. මොකද කාකි සූට් එක ඇන්දට උන් චුට්ටක් විතර මෝඩයි.
😜😜😜😜😂😂😂😂
👊🏽
හම්මේ මට පේනවා වට වෙලා පෝරියල් එක දුන්න හැටි
ReplyDeleteමෙන්න මේ ජනවාරි පළවෙනිදා පාන්දර 3.30 ට හොදට බීලා ට්‍ර්බල් දාලා මෝටර් බයික්කෙන් කන්දක් නග්ගන්න ගිහින් මගේ යාලූවො තුන් දෙනෙක් බරපතල තුවාල ලැබුවා. උන් කන්දෙන් පෙරලෙන කන් අනිත් බයික්කෙ හිටපු මටත් මතක් වුන් නෑ ඒක කන්දක් කියලා
ගිය මාසේ අන්තිම වැල්ලෙ සැට් වෙලා ඉන්නකොට පොලීසියෙන් ඇවිල්ලා කුදලගෙන ගියා බයික්කත් එක්ක සෑහෙන්ඩ පින්සෙන්දු වෙලා රුපියල් 500ක දඩයක් බයික්කෙට ලියාගෙන ශේප් වුනා.
උඹේ කතන්දර වගේම තමයි බන් මට වෙන විපරිතත්....හැබැයි ගෙදරින් හම්බෙන පෝරියල් එක සැර වුනාට ඔය තරම්ම සැර නෑ....
ඒ වගේද බං පොලීසියක් ඇතුලේ පොලීසිය බලං ඉන්දෙද්දි ගෙදරින් ගුටි කන එක..?? 😜..
Deleteඋබත් ලස්සනට තුන්දෙනාම ඩබල් දාල ගිහිං තියෙන්නෙ තැරි ගහගෙනම.
හෑ බං..! ඒ කුනුහබ්බේ මොකක්ද බීච් එකේ බිබී ඉන්නකොට බයිසිකකේ පොලීසියෙන් අල්ලං ගිහිල්ල දඩ ගහන්න..? ඒක උන්ගෙ අච්චීගේ නීතියක් නෙ ඈ..? 🙈
නෑ පොදු ස්ථානයක්නේ බීච් එක ඒතන බිව්වට අරන් ගියේ. උසාවි දාන එකක් නේ ඒක. ඒ නිසා පිස්සෙන්ඩු වෙලා බෝම අමාරුවෙන් රථ වාහන වැරද්දක් ලියා ගත්තා බයික්කෙට.ඌ ටිකක් හොද එකෙක් ජාරාවක් ඉල්ලුවෙත් නෑ
Deleteආ.. ඒක මිසක්. ඒත් ඔය සීන් එක ගොඩින් ගිය එක බොහොම ලොකු චාන්ස් එකක් බං. පොලීසියේ හොඳ ඇවුනුත් නැතිවම නෙමෙයි. ඒත් එහෙම ඇවුන් නිකං කළුනික හොයනව වගේ..
Delete👊🏽
අම්මට හුඩු උඹ ඔයින් බේරිලා ගියා මදැයි, ගොක් කොළ සුදු කොඩි දාන්න තාම තරුණ වැඩියි !!!
ReplyDeleteහැබැයි "කොහොමද කෑම ???" කියල ඇහුවම කියන්න තියෙන්නේ "අති විශිෂ්ඨයි සර් !!! " කියල තමයි :-D
ගොක්කොල සුදු කොඩිත් දැක්ක බං. දවසක් මමයි මස්සිනා තුමයි එයාපොර්ට් යද්දි ජා-ඇළ හංදියෙන් CTB බස් එකක් ආපු වේගෙන්ම එක පාරටම පාරට දැම්ම නිසා අපි ඉතිං ආපු වේගෙන්ම බස් එක මැදින්ම කඩාගෙන ඇතුලට ගියා. (ඔන්න මම නං නෙමෙයි එලෙව්වෙ හොඳේ.)
Deleteහිතාගනින් මගේ මුණ නිකං dart board එකක් වගේ.
ඕකට වෙනම පොස්ට් එකක් ලියන්නං. පින්තුර ටික මස්සිනා තුමාගෙන් ඉල්ලගත්ත දවසක.
ඇති විශිෂ්ටයි කාපු සියළුම කෑම බීම කන්ඩා තුමනි..!!
🤛🏽
හපොයි...! කියවනකොට බයිසිකලේ වේගෙට අනුගත වුණා .....වංගුවෙන් කුඩු තමා කියල හිතුවේ..... හොඳ වෙලාවට රෝමන් කාරයෝ නැවැත්තුවේ........තාත්තගේ කතාවනම් heart touching බ්‍රෝ.......පාරේ විස්තරේ කියද්දී ඒ හරිය මැවිලා පෙනුණා........අවුරුදු 5ක් විතර අපිත් ඔහෙ කරක් ගැහුවා.....
ReplyDeleteබොහොම ස්තුතියි අමරින්. මගේ වේගෙට අනුගත වුනාට වේගය මරුවා කැඳවයි හිටං. තාත්තලා පුතාලට ප්‍රසිද්දියේ ආදරය ප්‍රකාශ නොකරන අයනේ මචං. ඒ උනාට එතුමලා පුතාලන්ට බොහොම ආදරෙයි.
Deleteහෑ..!! 😳.. ඔහේ මක්කැයි ගාල්ලෙ අවුරුදු පහක් කලේ ඈ..?? කොයි හරියෙයි හිටියේ..?
බෙන්තර ගඟෙන් එහා නම් ඉතින් ආයෙ මක්කැයි මේ දොඩවන්නෙ..
👊🏽
ටික්කො ඊ ළඟ සතියේ හමු වෙමු කිව්වට ඒ සතිය එන්නේ මාස කීයකට පස්සෙද ?
ReplyDeleteඅනේ මචෝ කන්ඩා බොස්. මේ පැත්ත මතක් උනාටත් රොම්බ තෑන්ක්ස් 👊🏽.
Deleteඅමතර වැඩ ගොඩක් අමතරව සෙට් උනා මචෝ. ලබන සතියෙ ඩෙෆා ලියනව
ජය වේවා..!!
👊🏽
ලියපං
ReplyDeleteඑළ කිරි මෙන්ඩ. මේ සතිය බිසී උනා. ලබන බදාදා වගේ මේ බයික් එපිසොඩ් එකේ අන්තිම එක ඉවර කරන්නං
Delete👊🏽
ජීවිතේ පලවෙනි පාරට ඊයෙ දඩයක් කෑව ඕයි
ReplyDeleteඅප්පටබොල මද්දෝ.. 😳.. ඒ මොන මලහත්තිලව්වක් කොරන්ට ගිහිල්ලද? ඔය පොලිස් කාරයෙක්ගෙන් දඩ කොලයක් ගනිද්දි ලැබෙන සනීපෙ සමාන කොරන්ට පුළුවන් ගඳ ගහන බලු බෙට්ටක් ඉස්සරහ ඉඳගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් කන ෆිලින් එකට.
Deleteඒ.. ඒ..ක්..කා....!! 😡😡😡
ලියපං බං
ReplyDeleteඑළ කිරි මෙන්ඩ බ්‍රදර්..!! 👍🏽. ඔහෙල වගේම කිහිපදෙනෙක්ගේම ඉල්ලීම නිසා ඉක්මනටම ලියන්නං මචෝ. ජය වේවා..!!
Delete👊🏽
ටික්කබ්රදර් ඔහෙලගෙ දිහාට ගොඩ බැහැල ඉන්නේ, අරුණ අයිය එක්ක නම් කයියක් දැම්ම, උඹේ ෆෝන් නම්බර් එක එවපන් චැට් එකක් දාන්න ...
ReplyDeleteජයවේවා !
අම්මටසිරි කන්ඩා..!! මගෙ tilanj@hotmail.com ට මේලයක් දාපං. උබ කොහෙද ඉන්නෙ? එළ කිරි. එහෙනං චැටක් දාමු. දැන් මාස දෙකකට විතර උඩදි අරුණ තුමාගෙ ගෙදර ගිහිං එතුමා සහ මැතිණියගේ සංග්‍රහ සත්කාර දවස් දෙකක්ම විඳල ආව. ok මචෝ. නම්බර් එක එවපංකෝ
Delete👊🏽
උබ ඉන්නවද
ReplyDeleteමෙන්ඩෝ...!! මම මෙන්න මෙහෙ ඉන්නවෝ..!! අඟහරුවාදා හම්බෙමුකෝ...!!
Delete👊🏽
තමන්ගේ තරම දැනගෙන ගත්තනම් නේද හොද.කතා කරනකොට කාට උනත් ඉවසීමෙන් කතා කරන්න. ඒක හොදඊ නේද.
ReplyDeleteසමනලී මිස්. පොඩි කාලෙ තාත්ත මට කියල තියෙන්නෙ බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපං. ඒක ටිකක් දෙපැත්ත කැපෙන කතාවක්. ඒත් මෙතනදී ඇල්කොහොල් නිසා පොඩ්ඩක් අවුට් ගියා. හැබැයි ඒ වැරැද්ද හදාගත්ත ආයෙ එහෙම දෙයක් ජීවිතේටම නොවෙන්න.
Deleteඔබට සතුටුද දැන්?
🙈
මචං ටික්කා මගේ වයිෆ් ගේ ඔෆිස් එකේ හිටියා ඇප්රෙන්ටිසින් කරපු කෙට්ටු කෙසඟ කෙල්ලක්. හරිම හොඳයි. එකසිය ගානට වැඩ. අපේ පවුල ඇවිත් හැමදාම කෙල්ලගේ කතා කියනවා. කෙල්ලට හිටියා මල්ලි කෙනෙක්. මේ අක්කයි මල්ලියි ගොඩ ඇවිත් අහිංසක අම්මයි තාත්තයි දෙන්නත් ඇතුළු මුළු පවුලම ගොඩදායි කියලා!එක පාර අපේ ඔලුවටත් හෙනයක් ගැහුවා වගේ ආරංචියක් ආවා.
ReplyDelete"ඊයේ රෑ අක්සිඩන්ට් එකක් වෙලා අර කෙල්ලගෙ මල්ලි නැති වෙලාලු"
ගහට කොලට ආදරය කරණ මා වැනියකුට මේ ආරංචිය දැඩිසේ කම්පනය දක්වන සිද්දියක් විය. මගේ බිරිඳ මළ ගෙදරට සහභාගී විය. මාහටත් කතා කලත් මා සිතා මතාම එයට සහ්භාගී වීමෙන් වැළකී සිටියෙමි.
ආපසු ගෙදර පැමිණි බිරිඳ මා නොඅසාම මට විස්තර් කරන්නට වූයේ දැඩි කණස්සල්ලෙනි.
"අනේ ඒ අම්මට නිකං නුහුඟුණ වගේ. හෝ ගාලා කියවනවා. .............."
"අනේ මට කියන්න එපා මට අහන්න ඕනෙ නෑ!!" මම කීමි.
මේ වෙන කාගෙ වත් නොව ; මුළු ගාල්ලම හැඬවූ රිච්මන්ඩ් එකේ ඔසඳ දිසානායකගේ කථාවේ මා දුටු පැති කඩයි. ඌ ගෙදරට පුතෙක් නොව ඇතෙකි.
ඇතෙන්ම ටික්කා උඹට කියන්න පුතෙක් කියන්නෙ ඇතෙක්ම තමයි ඕන අම්මෙකුට තාත්තෙකුට. ඒක මට දැනුනේ මගේ කොල්ලා අවුරුදු විස්සක් මා ගාව ඉඳලා මෙරටින් ගියාට පස්සෙ. දරුවෙකුට දෙයක් උනොත් මුළින්ම කම්පනය දැනෙන්නේ උන්ගෙ දෙමව්පියන්ට. මැරෙන කම් හූල්ලන්නෙ අම්මලා තාත්තලා. අපි අපේ මුළු ජීවිත කාලයෙන් හරි අඩක් කැපකොට දරුවන්ව ගොඩ දැම්මාම උන්ගෙ කරට වැටෙන වගකීමක් තියෙනවා මැරෙන කම් අපිට කන්න අඳින්න ටිකක් නොදී හරි සැහැල්ලුවෙන් මැරෙන්න ඉඩ දීම. ආන්න ඒකටයි අපි බීලා කලයුතු නොකල යුතු දේ බේර ගන්න ඕනෙ. එකක් අපිට නෑ මැරෙන්න අයිතියක් අපිට තියෙනවා යුතුකම් රාශියක් අපේ දෙමව්පියන්ට ඉෂ්ඨ සිද්ධ කරණ්න. දෙවෙනි එක අපිට් බෑ කොහෙත්ම තවත් අහිංසක අම්මෙකුගේ තාතෙකුගේ දරුවෙකු බිළි ගන්න. කමු බොමු ප්රීතිවෙමු! " මැරෙන්න එපා! මැරෙන්න දෙන්න්ත් එපා!! මරන්නත් එපා!!! කොහොම උනත් උඹ කිරක් වගේ මට පෙනෙන්නේ!
බොහොම ස්තුතියි තට්ටය අයියෙ!
Deleteමගේ අනිත් යාළුවන්ට සාපේක්ෂව මගේ ජඩ වැඩ (අඩුමමත් නැහැ හොඳේ) අඩුයි. ඒකට හේතුව වරද දුටුතැන කන පැලෙන්න දෙකක් හම්බ උන නිසා. ඒ ගැන අදටත් මම දෙමව්පියන්ට ස්තුති කරනව. මේ වගේ කරපු වැඩ වලින් දෙමව්පියන්ට උන අපහසුතා ගැන මම අදත් පසුතැවෙනව. ඒත් කොළු වයස නේද කියල හිතහදාගත්ත. ඔබ පියෙක් විදිහට අවුරුදු සිවි ගණනක පුතෙක් සිටින කෙනෙක් විදිහට කියපු හැම දෙයමය මම හිස නමා ආචාර කරනව. ඔය කාලයේදීම බීල බයිසිකල් පැදල මගේ යහළුවන් දෙන්නෙක් මැරුණ. මම ජිවිතේ සෑහෙන්න දේවල් තේරුම් අරගෙන ඉන්නෙ. ඕනෑම දෙයක් කරන්න මොබයිල් ෆෝන් එක විතරක් ඕනකරන රටක මම මටම පවරාගත්ත නීති රීති අනුව ජිවත් වෙන්නෙ ලබපු අත්දැකීම් ම නිසා තමයි. මමත් සහෝදරියත් බොහොම සැලකිලිමත්ව දෙමව්පියන් බලාගන්නව. මගේ 1st, 2nd, 3rd priorities මගේ අම්ම තාත්ත සහ සහෝදරිය සහ ඇගේ පවුල. මගේ දෙමව්පියන් උනත් අදටත් දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් අපි දෙන්නම ඒව කරන්නෙ යුතුකම් විදිහට නෙමෙයි. ඒව අපෙන් වෙන්න ඕන දේවල් නිසා. මගේ සහෝදරිය මගේ දෙමව්පියන් ඇමෙරිකාවට ගෙන්වාගත්ත.එයා සැමියා මුණුපුරන් මිණිපිරියන් සමග කාලයක් ගතකරන්න. විස්වාස කරන්න මාස 5ක් වත් හිටියෙ නැහැ. මොකද එයාල හිතුවෙ එහේ ඉන්න එක කවදාහරි කරදරයක් වෙයි කියල. මම අදටත් කරන්නෙ එයාලට. මොකද මගේ තියරිය ඇවිල්ල "දෙමව්පියන් වයසට ගියහම ලොකු දොස්තරල ලොකු ඉස්පිරිතාලවලට යවල වේදකං කරන එක නෙමෙයි. ඔවුනට පුළුවන් කාලෙ ඔවුන්ව උපරිම සංතෝසෙන් තියන එක". මොකද අපි හිතනවනම් අපි යම්කිසි තැනක ඉන්නවා කියල. ඒකෙ ගෞරවය ලැබෙන්න ඕන දෙමව්පියන්ට. මම අද තාත්තට කතා කලත් මෙන්න දෙබස,
"තාත්තේ, මේ මම xxxx. කොහොමෙයි ඔයාට අම්මට.?"
"අපි හොඳින්. මොකද කරන්නේ. අක්කට කතා කරාද.?"
"මම වැඩ තාත්තේ. මේ බ්රේක් එකේ ඉන්නේ. ඔව් කෝල් කළා."
"මොකද ඔච්චර වැඩ? මම හෙට හෙට සල්ලි එවන්නං. ගෙදරට වෙලා ඉන්න ටිකක්. එක්කෝ කොහේ හරි යන්න."
"පිස්සුවක් තියෙනවයි තාත්තේ. මට සල්ලි එවන්න. මට තියෙනව"
"හ්ම්ම්.. මොනවහරි එවන්න ඕනනම් අම්මට කියන්නකො. එවන්නං"
"මොනවත් ඕන නැහැ තාත්තේ. මෙහේ ඔක්කොම තියෙනව."
"ඔව් ඉතිං උබ කට ඇරියොත් මුකුත් එපා. එපා. එපා.. ම තමයි. හරි අපි සඳුදට skype කතා කරමු අම්ම එක්ක. පරිස්සමින් ඉන්න..."
"එහෙනං හරි තාත්තේ. බායි "
ඕකම තමයි අම්මට කතා කලත්. විස්වාස කරන්න මම අද වෙනකං ලංකාවෙන් කිසි දෙයක් ගෙන්න ගෙන නැහැ තට්ටය අයියෙ. එච්චරටවත් කරදරයක් දෙන්නෙ නැහැ.
මම ගිය සතියෙ වෙනකන් පහුගිය මාස දෙකකට විතර කිට්ටු වෙනකං operation එකක් කරල ගෙදරට වෙලා හිටියෙ. මම surgery එකට දවස් දෙකකට කලින් සිද්දිය කියනකොට අක්කලත් holiday එකට ලංකාවට ඇවිල්ල. පස්සෙ මම බොරු කිව්ව operate කරන්නෙ නැහැ ප්‍රශ්නෙ හරි කියල. නැතිනම් එයාල බෝධි පුජා තියන්නයි අරකයි මේකයි කියල හැම තැනම දුවයි කියල බයට. මම තනියම ගියා operation එකට. my car. my petrol කියල. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ.
මට අන්තිමට කියන්න තියෙන්නෙ, තට්ටය අයියෙ, "දෙමව්පියන් හැටියට ඔබල වැපිරූ දෙය තමයි, අස්වැන්න විදිහට ඔබේ ළමයින්ගෙන් නෙලන්න වෙන්නෙ. ඒක ඔබට වගේම මගේ දෙමව්පියන්ටත් හැම දෙයකටමත් මේ කියමන අදාලයි". ඔබ නිහතමානී මනුස්සයෙක් කියල ඔබේ බ්ලොග් කියවීමෙන් මට තේරෙනව. ඒ වගේම ඔබේ පුතාගෙ අද්යාපන කටයුතුත් සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා.
සුභ දවසක්..!!
ඒ වගේම "ඔසඳ දිසානායක" තරුණයාටත් නිවන් සුව ප්‍රර්ථනා කරනව.
🙏
උඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු සරණයි. මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන් දෙමව් පියන් වෙනුවෙන් නම් කාගෙ උනත් , කාට උනත් එකෙන්ම තමයි.
ReplyDeleteතට්ටය අයියෙ ..!
Deleteඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන්" කියන වචන ටික ගොඩක් පරිස්සං කරගන්ට. මම ඔබට advice දෙන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. ඒත් මගේ මේ පුංචි බ්ලොග් කාලෙ වින්ද අත්දැකීම් හැටියට ඔය වගේ වචන කියද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන. මේකේ ඇතුලෙ හොරු, මංකොල්ලකාරයො, මැජික් කාරයො වැහි වැහැල. මොකද මේක මගේ බ්ලොග් එක. මට ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් වගේම කියන්නත් පුළුවන්. අනික අත්දැකීම් වලින් මේ කියන්නෙ. (බ්ලොග් ලියන්නන් හැටියට මුල ඉඳලම මම විශ්වාස කරන දෙන්නෙක් ඉන්නව. ඒ තමයි කාටත් ඇත හිත දෙන අටම්පහුර සහ බ්ලොග් ඔස්තාර් මාතලන්. තව බ්ලොග් කරුවන් කාරියන් කමෙන්ට් කරුවො කිහිපදෙනෙකුත්.)
බොහොම ස්තුතියි ඔබගෙ වචන වලටත්. සන්තෝසයි ඔබ වගේ වැදගත් "මනුස්සයෙක්" හමුවීම ගැනත්.
ඔබට කියන්න තියෙන්නෙත් මම මගේ තාත්තට කියපු දෙයම තමයි. "මම හොඳින්. මට මොකුත් එපා..බොහොම ස්තුතියි" කියල.
මම එක ඉල්ලීමක් කරනව. මම හරිම අසාවෙන් ඉන්නෙ ඔබ තුමා හමුවෙලා කවදාහරි කයාකින් කරන්ට.
අනික, සමාවෙන්න තට්ටය අයියේ, මම ආගමක් දහමක් අදහන්නෙ නැති කෙනෙක්. හැබැයි "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"...
ඔබට සහ පවුලේ සැමට සුභ දවසක්..!!