Tuesday 14 March 2017

මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත්ව පැදවීම අංක 02





ඔන්න ඔහොම තවත් මාස කිහිපයක් හැලහොල්මනේ ගෙවීගෙන යනවාය. ඔය අතර මගේ මෑණියන් තුමියට නුවර පදිංචියට යෑමට අවශ්‍ය වෙනවාය. ඒකට හේතු ලෙස මගේ පියතුමා දශක දෙකක් පමණ නුවර රැකියාව කිරීමත් මෑණියන්ගේ කලා කටයුතු ප්‍රදර්ශන කටයුතු එහෙම කොළඹට සාපේක්ෂව නුවර කෙරීගෙන යන නිසාත් . එයට අපි සියලුම දෙනාගෙන් ඔබ්ජෙක්ෂන් නැතිවීම නිසාත් ගමන කන්ෆර්ම් වෙනවාය.

එයට මගේ අනුග්‍රහය ලැබීමට හේතු දෙකක් වෙනවාය. එකක් නුවර දේශගුණයට සහ කලක් ජිවත් වූ නිසා පරිසරයට ආස නිසාත් සහ මව්තුමිය නුවර සිටීමෙන් මම නිවාඩුවට ගාල්ලේ ගොස් හිතේ හැටියට ජෝගි නැටීමට පුළුවන් වෙන නිසාත්ය.

නුවරිනුත් ගෙවල් බලා ගාල්ලේ ගෙයත් කුලියට දී බඩු පටවාගෙන යන දවසට කලින් දවස උදා වෙනවාය.

මේ දවස අපේ ගෙදර පොඩි උත්සවශ්‍රියක් ගන්නවාය. නෑදෑයන් කිහිපදෙනෙක් මාතරිනුත්, මස්සිනාට වැඩ ඇති බැවින් අක්කා තනියමත්, අපි යන නිසා අහල පහල ගෙවල් වලින් උදව් පදව්වට කිහිපදෙනෙක් සමග උදේ දවල් රස කෑමත් මගේ යහළුවන් කිහිපදෙනෙකුත් හෝගාල බඩු පැක් කිරීමටත් අස්පස් කිරීමටත් උදව් වෙනවාය

ඔය අතරම මේ ඔක්කොම කෑම කා පොඩි රෙස්ට් එකක් ගන්නා අතර මගේ යහළුවන් හවස ආයෙත් පැමිණෙන බව කියා විසිර ගියාය.

දැන් මට හිටිහැටියේම උණවටුනේ සහ දලවැල්ලේ සිටිනා යහළුවන් කිහිපදෙනෙකුට ටටා බායි කියන්ට උවමනා වෙනවාය. කිසිම තැනකට හිස් අතින් යෑමට අකමැති මට එහෙත් සල්ලි අතේ නැත. වහාම DC මිත්‍රයාට කෝල් කර ගෙදර ඉන්නවාද කියා බලා රුපියල් 1000/- loan එකක් ඉල්ලනවාය. බුවා ok කාලය. මම හැරෙන තැපෑලෙන් ගෙදරට බොරුවක් ගසා ඉක්මනට එනවාය කියා DC ගේ ගෙදරට ඉගිලෙනවාය.

මොකෝ ටික්ක හදිස්සිය සල්ලි වලට..??

නෑ බන් DC, දලවැල්ල පොඩ්ඩක් ගිහින් උන්ටත් කියල එන්නම්. පැට්‍රෝල් ගහන්නවත් සල්ලි නෑ බන්.

හිටපන් මමත් එන්නං

නෑ බන් අවුලක් නෑ. මම ඉක්මනට ගිහිල්ල එන්නම්. ගෙදරත් වැඩ අම්බානක.

ok ටිකක. බුදු සරණයි. පරිස්සමින් ගිහිල්ල වරෙන්. හවසට සෙට් වෙමු හොඳේ.

( රුපියල් 1000 න් මම මුලින්ම කලේ රුපියල් 400 dialog card එකකින් phone එකට සල්ලි දමා තවත් රුපියල් 100 පෙට්රෝල් ගැහීමත්ය.)

දැන් මම කෙලින්ම දලවැල්ලට පියාබනවාය. මම යනකොටත් එතන පොඩි කලබලයක් පටන්ගෙනය. (ගාල්ලේ අපේ භාෂාවෙන් කලබල කරනවා කියන්නේ සෙට් වෙනවා කියන එකේ slang වචනයය.)

එක ෂොට් එකෙන් නවත්වනවා කියු මට, එක දෙක වෙනවාය. දෙක තුන වෙනවාය. තුන හතර වූ විට දැනට නම මීටර් එකට එන්නේ නැති අයියා කෙනෙක්,

ටික්ක මල්ලි, ඔය ඇති කොල්ලෝ බිව්වා.. දැන් උබ ආයෙ ගාල්ලට යන්නත් ඕනනේ. උබ පරිස්සමින් ගෙදර පලයන්. උබ ආයෙ ගාල්ලේ අවොත් මේ brothers බලන්න අනිවාර්යයෙන්ම වරෙන්.

කියා කියුවිට සැමට සමුදී මම ගාල්ලට එන්න පිටත් වෙනවාය.

දැන් මේ කට්ට අවුවේ මම මෝටර් බයිසිකලයෙන් විදගෙන ගාල්ලට එනවාය. මුහුදු හුළඟ, කාෂ්ටක අව්ව මගේ බඩේ සිටිනා මිස්ටර් ඇල්කොහොල් තුමාගේ සිහි විකල් කරනවාය

උණවටුන පහුවෙනවාය. සිමෙන්ති පැට්ටේරියත් පහුකරගෙන ඉස්සරහට වේගයෙන් එනවාය. සම්බෝදියත් පහු උනාය. දැන් අර ගහපු ෂොට් වල power එක double, trible වෙනවාය. දැන්නම් හොඳටම බඩුය. ඔය අතර මගේ ඇස් දෙක හැම තප්පර පහකට සැරයක්ම බැලෙන්නේ මීටර් එක දිහාය. speed එක පනහ හට වෙනවාය. හැට හැත්තෑව වෙනවාය. ආයෙත් හැට වෙනවාය. මේක මට ෆුල් ආතල් සීන් එකකුත් වෙනවාය.

දැන් සිටින්නේ මාගාල්ල නේවි කෑම්ප් එක පසුකරමින්ය. ගෙදරයන කෙටිම ක්‍රමයනම් නේවි කෑම්ප් එක කෙලවරින් හැරෙන්නේ නැතිව කෙලින්ම පෙට්ටිගලවත්ත පාරෙන් ගොස් ටැල්බට් ටවුම හරහා කරාපිටිය පාරට දමා ගෙදර යෑමය.

ඒත් මීටරය බලමින් සහ වේගයෙන් යන ගමන ඊට වඩා මට ආතල් සමග ෆුල් සැපක් දෙන බැවින් ආපු වේගයෙන්ම නේවි කෑම්ප් වංගුව ගන්නවාය. වේගය කොතරම්ද සහ මට එම වේගය කොපමණ සැපක් දුන්නාද කියනවානම් මම මාරක වංගුව ගන්නේ double ඉරි කපා අනිත් මාර්ගයෙන් කාලක් පමණ මගේ පියාගේ යයි සිතාය.

පින්වතුනි...!!

දෛවය වෙනස් වේ...!!

වංගුවෙන් මීටර් කිහිපයක් ඉදිරියෙන් තිබෙන බුදු පිළිමය ඉදිරිපිට සිටින්නේ පොලිස් මෝටර් බයිසිකල් තුනක් හතරක් නවත්තාගෙන පාරේ ට්‍රැෆික් රාජකාරියේ යෙදී සිටිනා පොලිස් නිලදාරීන් හත්අට දෙනෙකි. මම double ඉරි කපන්නේ මේ නිලදාරීන් සිටින්නා ප්‍රසිද්ද වේදිකාව ඉදිරිපිට දීය.

එකෙක් ඉදිරියට පැන ට්‍රම්පට් එකක් ගහන්නා සේ කම්මුල් දෙක උලුප්පාගෙන විසිල් එක ගහගෙන අතත් පාරට දමාගෙන පාරට පැන මාව නවත්වනවාය.

මම ඔබතුමන්ලාට කලින් කිව්වා සේ (මම යම්කිසි ප්‍රතිශතයකට නිතිය පිලිපදිනවාය යන්න) මම බයිසිකලය නවත්වනවාය. සමග පොලිස් (මගේ නුවර යහළුවෙක් දවසක් පොලිස් නිලදරුවෙකුගේ මුහුණටම ඔහුව describe කලේ "දවල්ට පොලිස්, රෑට S.I. ගේ පොල්ල පොලිෂ් කියලාය) කරු මමවෙත පැමිනෙනවාය.

කොහෙද මහත්තයා මේ double ඉරි කපාගෙන හදිසියේ යන්නේ ..

නෑ.. මම මේ හදිසි වැඩකට ගෙදර යන ගමන්.

හා හා කමක් නැහැ. ගන්න බලන්න ලයිසන් ඉන්ෂුරන්ස් එහෙනම්.

හරි වැඩේ, මම මේ හදිසියට එනගමන් ලයිසන් ඉන්ෂුරන්ස් දෙකම ගෙදර දාලනේ ඇවිල්ල තියෙන්නේ.

(ඔය අතර මහත්තයා යන විශේෂණ පදය වෙනස් වෙනවාය, බුවා පොලිස් සුනඛයෙක් ලෙස ඉව අල්ලමින් මගේ මුහුණටම එබෙනවාය.)

උබ අරක්කු බීල නේද..??

නෑ, මම මේ බියර් බෝතලයක් බිව්ව.

උබ %රිය බීල එලවල, ඉරි කපල, ලයිසන් ඉන්ෂුරන්ස් නැතිවත් එලවල, උබ මොකක්ද මේ දාගෙන ඉන්න හෙල්මට් එක .. උබ %රිය. දැනටමත් වැරදි 4ක් කරල තව බොරුත් කියනව

(මේ අතර ඔහු ඔහුගේ උසස් නිලදාරියෙකුට කතා කරන ගමන්....)

උබේ අම්මට &6%න්න උබ කවුරු කියල හිතන්ද මෙහෙම යන්නෙ &රියෝ ...

(කියලා අහනවත් සමගම ඔහුගේ අතින් මගේ normal system mode එක fuck off mode එකට switch වෙනවාය..

මොකක්..?? උබ කවූද මිනිහො මගේ අම්ම මතක් කරන්න . ඒක කරන්න තාත්ත ඉන්නව. උබ දැනගනින් මිනිහෙකුට කතා කරන්න ඉස්සරවෙලාම. ඔව් මම වරදක් කළා. බිව්ව. ඉරි කැපුව. මාව පොලීසියට එක්කරගෙන ගිහිං නීතිය කරනව. නිකන් මේ කුණුහබ්බ කියන්න එපා හරිද. ඔය සූට් එක ඇඳගත්ත කියල ඔහේ නගරාධිපති නෙමෙයි. අනික අපිත් සත්තු නෙවෙයි ඔහෙලගෙන් බැනුම් අහගන්න හරිද. ඕවට ලැහැස්ති වෙන්න එපා..

(ඔය වගේ තවත් වචන කිහිපයක්ම මගේ ශ්‍රී මුඛයෙන් පිටවෙනවාය.එව්වා හරියටම මට මතක නැත. හැබැයි ගොඩක් එව්වා පොලිසියට එරෙහිවය. අනික කිව්වේ මගේ බඩේ සිටිනා මිස්ට ඇල්කොහොල් මිසක් මම නෙමේය..)

කියනවාත් සමගම උසස් නිලදාරියාත් එතනය

සර්.. මුගේ කට වැඩියි. දැක්ක නේද කතා කල විදිහ. දෙන්න එපා සර් මූට ඇප. කෙලින්ම උසාවි දාමු.

උසස් නිලදාරියාගේ නියෝගයෙන් මම සීට් එකේ පස්සට යනවාය. ඔහු බයිසිකලය පනගන්වාගෙන මමත් රැගෙන පොලිසියට යන අතර අර නිලදාරියාත් තවත් පොලිස් බයිසිකලයකින් මගේ පස්සෙන් එනවාය.

දැන් මට එලොව පොල් මෙලොව පෙනෙනවාය. මේ අතර මගේ බයිසිකලය පොලිස් අත්අඩංගුවට පත්වී මම පොලීසිය ඇතුලට ගෙනියනවාය.

දැන් මුන් කරන්න හදන්නේ බැළුම් බෝල පරික්ශාවයි. අතර තවත් එකෙක් මගේ phone එකයි helmat එකයි purse එකයි අත්අඩංගුවට ගන්නවාය.

එකෙක් බැලුම් බෝලයක් දී පුම්බන්න කියනවාය. තව එකෙක් හය්යෙන් පුම්බන්න කියන්නේ හරියට ෆූට් බෝලයකට කටිං හුලන් ගන්න කියනවා වගේය.

පරික්ෂනයෙනුත් මම ඇති දරුණු විදිහට අසමත් වෙනවාය.

තව එකෙක් මට last chance එකක් දෙන්නේ එක දුරකථන ඇමතුමක් මගින් ගෙදර අයෙකුට පොලිසියට පැමිණෙන ලෙස කියාය.

අවස්තාව අවසාන අවස්තාව බැවින් ගෙදර උදවිය කෙසේ වෙතත් DC ගේ මලයා වන ගාල්ලේ සාර්ථක වියාපාරිකයෙකු වන දරේ කෝල් කරලා සිද්දිය කෙටියෙන් කියනවාය.

තව විනාඩි කිහිපයකින් මාව පොලිස් කූඩුවට දමනවාය.

ඉතා කුඩා කාලයක් තුල දරේ තමන්ගේ වියාපාරික ස්ථානය වසා පොලීසියට වාර්තා කරනවාය. වගේම ඉතා යුහුසුළුව පොලිස් නිලදාරීන් උසස් නිලදාරීන් සමග කතා කරනවාත් කුඩුවේ යකඩකුරු ගනිමින් සිටින මට පෙනෙනවාය.

ඔය අතරම පොලිස් නිලදාරීන් ඔවුනට කතා කරන්නේ මවිසින් බල්ලොන්ගේ අධෝ මාර්ගයට පෙට්රෝල් ගසා කුලප්පු වු බලු රැලක් මෙනි.

දරේ දැන් මා වෙත එනවාය.

ටික්කො.. මොකෝ බං මේ කරගත්තේ. උබ උන්ට කතා කරලා තියෙන විදිහටනම් ශේප් එකක් දාගන්නනම් බැහැ වගේ. මොකෝ බන් දැන් කරන්නේ..?? මට මොකුත් කරගන්න බහ බන්.

අනේ පුලුවන්නම් දරේ එහෙනං ගෙදරට කෝල් එකක් දාපං. මම පොලීසියේ විතරක් ඉන්නව කියපං. වෙන මොකුත් කියන්න එපා මචං.

ගෙදරට කෝල් කල දරේ, තමන්ගේ අයියා හෙවත් DC හැකි ඉක්මනටම මෙතනට එවන බවට පොරොන්දු වී වියාපාරික ස්ථානයට යන්න ඕනි කියා යනවාය.

අනුව DC සහ තවත් කිහිපදෙනෙක් පොලීසියට ආවත් මා සමග කතාවට ඉඩ දෙන්නේ නැත.

තවත් විනාඩි කිහිපයක් මට ප්‍රදර්ශනය වන්නේ මගේ මව පියතුමා සහ අක්කා තුමිය පොලීසියේ ඉහල නිලදාරියෙකුත් සමග මම දිහා බල බල කතාකරනවාය.

මගේ මව්තුමියගේ ඇස් වලින් මාව දුර සිට අනුභව කරනවාය. සහෝදරිය mike tyson මෙන් අත්දෙක ගුලි කරමින් සිටිනවාය.

හැබැයි පියතුමාගෙන් කිසිම reaction එකක් නැත. එය මගේ බිය දෙගුණ තෙගුණ කරනවාය.

මේ අවස්ථාවේ මට සිහිවන්නේ පාතාලයේ දරුණු ගනයේ අපරාදකරුවන් සිරගෙදර සිටීමට කැමති ඔවුන් එලියට පැමිණියහොත් ඔවුන්ගේ විරුද්ද කණ්ඩායමෙන් මැරුම් කෑමෙන් වැලකී සිටිය හැකි නිසාය යන හේතුවය. දැන් මම ඉන්නෙත් එවැනිම අවස්ථාවකය. දැන් මම එලියට ආවොත් මගේ ඉහේ කෙස් ගහක්වත් ඉතුරු වන්නේ නැත.

මව් තුමිය පළමුව සිරමැදිරිය දෙසට එනවාය. එතුමියගේ ශ්‍රී මුඛයෙන්,

යකෝ. පර බල්ල. තෝ අපේ නම්බුව වැනසුවා. තොට අඩුවට තිබුනේ හිරේ ලගින එක විතරනේ. දැන් තෝ ඒකත් කරගත්ත. මම අද තෝව මරනව පරයා. යකෝ අපි කවදාවත් පොලීසියේ රස්තියාදු උන මිනිස්සුද? අපි කොහොමද යකෝ පාරේ බැහැල යන්නෙ..?? තොපි මදාවියෝ විදිහට හැසිරුනා මදිවට අපිත් පොලීසියට ගෙන්නල එක එකාට කියල බැනුම් අස්සනව. මේ අත්දෙකෙන් තොපේ කැතකුණු අතගාල තෝව උස්මහත් කලේ මෙහෙම නරකාදියක තෝව ඉන්නව දකින්නද බල්ලෝ ..? මම අද තෝව ඉතුරුකරන්නෙ නැහැ

අම්මා නවත්තන තැනින් ඊළගට පටන්ගන්නේ අක්කාය.

අනේ අම්මේ බලන්නකෝ මු කරන දේවල්. අර මිනිස්සු දැනගත්තොත් අපි ගැන මොනවා නොහිතයිද? මම අද තෝව හැම ගහනව. අර පේන්නේ නැද්ද මුගේ ඇවිල්ල තියෙන සහචරයෝ.. මු වගේම තමයි. මම අද තෝව පණපිටින් වලලනව..

කියන ගමන්ම අම්මා සහ අක්කා ගහන්න සිර මැදිරියට ඇත පයත් විසික්කරන ගමන් මම එයින් බේරෙන්න වචනයක් වත් කියන්නේ නැතිව එහෙට මෙහෙට පනිනවාය

ඔය අතරම දරේ වියාපාරික ස්ථානය වසා ආයෙත් පැමිනෙනවාය. දරේ අපේ ගෙදර හොඳටම දන්නා බැවින් ඔහු සමග දෙමාපියන් සමග අක්කාත් කතා වට වැටුන වෙලේ මට පොඩි විවේකයක් ලැබෙනවාය.

දැන් මට හොඳටම චු බරය.

අසල සිටි කොස්තාපල් කෙනෙකුගෙන් වැසිකිලිය විමසු විට ඔහු කීවේ ඇතුලටම යන ලෙසය.

ඔන්න මම යනවාය.

වැසිකිලියට යෑමට විශේෂ මුහුණු සහ නාස් වැසුමක් අවශ්‍ය වූ නිසා සිර මැදිරියේ කොනකට ගොස් ශරීර අවශ්‍යතාවය කරගත්තාය.

දරේ නැවතත් මා අසලට පැමිණ කීවේ මට ඇප දීමට පොලිසිය කිසිම සුදානමක් නැති බවය.

මදිවට හෙට අනිවාර්යයෙන්ම උදේම අපි නුවර යා යුතු බැවින්, එය වලකුනහොත් ඔවුන් මම වලලනවා බුදු ෂුවර්ය.

මේ වෙනවිටත් තාත්තාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත.

දැන් DC මම ලඟට ඇවිත් කියන්නේ...

ටික්ක.. අන්න උබේ තාත්තගේ යාලුවෙක් එන සීන් එකක් කතා වෙනව. මොකක්හරි කරගන්න පුළුවන් වෙයි බුවාගෙන්..

කියලාය.

මට තාත්තාගේ යහළුවාගේ නම ඇසූ පමණින් මම එලියට සමාන සන්තෝසයක් එනවාය. මොකද අංකල් යම්කිසි දෙයක් කරගන්න පුළුවන් කලින් ආරක්ෂක අංශයේ කිරිතිමත් රැකියාවක් කල පුද්ගලයෙක් වගේම මම එක්කත් ටිකක් හිතවත් අයෙකුත් වෙනවාය.

තවත් පයකට පමණ පසු අන්න අන්කල් තුමා මම වෙතට එනවාය.

මොකක්ද ටික්කො මේ කරගත්තේ?.. බය වෙන්න එපා. මම එලියට ගන්නම්. බයිසිකලෙත් ගන්නම්. මොකද උබල ඔක්කොම හෙට නුවර යන්නත් එපැයි.

හනේ අම්මේ.. මට නිකන් නිවන් දැක අයෙත් පෘතක්ජන මිනිහෙක් බවට පත්වුනා වගේය.

සියල්ල අන්කල්ගේ පිනට මගේ අවාසනාවට හරියට කෙරුනාය.

ටිකකින් එක නිලදාරියෙක් සිර මැදිරිය අරින යතුරත් රැගෙන දොර ඇර මට එලියට එන්න කියනවත් සමගම මම අඩි කිහිපයක් ඉදිරියට එනවාත් සමගම.....,

මගේ පියතුමා.... ඉදිරියට පැමිණ... කන හරහා.... දැවැන්ත පහරක් චටා......ස්..!! ගා එල්ලකර එක දෙයක් පැවසුවාය...

මම ජිවතුන් අතර ඉන්නකං තෝ බීල පාරේ ගිහිල්ල බල්ලෙක් වගේ මැරෙනවා දකින්න පව් කරන්නෙ නැහැ යකෝ..

(එයින් මගේ දෑසට කඳුලක් ආවේ ගහපු කනේ පාරේ සරට නොව, පියතුමාගේ මම කෙරෙහි ඇති ආදරය හරියටම පැවසු නිසාය..)

ඊළඟට දුව එන්නේ මගේ මව සහ සහෝදරියය.

පොලීසියේ සහ මගේ මිතුරන් සියලුම දෙන ඉදිරියේ මම මව සහ අක්කාගෙන් ගුටි කන්නේ හරියට ටවුමේ ගැහැණියකගේ පසුම්බිය හොරාගෙන දුවපු හොරෙක් අසුවී වටේ පිටේ ගැහැණුන්ගෙන් ගුටි කනවා වගේය.

මගේ ලැජ්ජා නහර කැපුන තැන් දැන් මට හොයාගන්නවත් නැතිය. වහාම ඉදිරිපත්වූ අන්කල් තුමා එතැනින් මාව ගලවාගෙන, පොලිසියේ ඉතුරු ලිපිගොනු වැඩ කරවාගෙන මාව නිදහස් කරගත්තාය.

(දැන් එම අවස්ථාවේ highlights මෙහෙමය..)

DC, සහ දරේ ඉදිරිපත්වී, මගේ මෝටර් බයිසිකලය එලියට ගත්තාය. වගේම ගෙදරටම ගෙනත් ලොයියටම පැටෙව්වාය.

අන්කල් විසින් පොලීසියේ නිවේදනය පරිදි සති දෙකකට පසුව එළඹෙන බදාදා උදේ 10.30 ගාල්ල කොටුව උසාවියේ නඩුවට පෙනී සිටිනා ලෙස දැන්වූ අතර ඔහු විසින්ම ලෝයර් කෙනෙකුත් සොයා දෙන බවට කියුවාය.

සියලුම බඩු සමග පියා ලොරිය සමග නුවර ගිය අතර, මම තුමා, මව සහ සහෝදරිය සමග බසයෙන් නුවර යනගමන් කල්පනා කලේ මවිසින් ජිවිතයේ කල පව්, ගන්දබ්බ තත්වයට පත්වූ ජීවියෙක් විසින් සජීවීව බලා ආයෙත් නරකාදියට යනවාද, යහපත් මිනිහෙක් වෙනවාද යන මද්‍යස්ථ අවස්ථාවේ සිටිනා එලොවටත් නැති මෙලොවටත් නැති ජීවියෙකු මෙනි.

. ලි.: මෙහි අවසාන කොටස උසාවි යෑමෙන් අවසාන වේ. උසාවි ගිහිල්ලත් දෙපාරක් රස්තියාදු වෙන අවස්තාව ඇතුළුව මට තවත් පෝරියල් කිහිපයක් ලෙසටම සෙට් වෙනවාය.

පසු වදන

මම ඔබතුමාලගෙන් කාරුණික ඉල්ලීමක් කරනවාය. ඉහත සිදුවීම මම සිනා මුසු ස්වරයෙන් ලියුවත්, ඔබ තුමාලාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලන්නේ, කවදාවත් බීමත්ව බයිසිකලයක් ත්‍රි රෝද රථයක් හෝ රෝද හතරකවත් නොයන ලෙසයි.
එදා පොලීසියට අහුවෙන්නේ නැතිව දරුණු අනතුරකට මම මුහුණ දුන්නානම් අද මේ ටික ලියන්න මේ ටික්කා නැත.

ජිවිතයේ ඉතා තරුණ අවදියේ මම කල කී දෑ, දැන් මතක් වෙනකොට, අදටත් මගේ ඇත පය වෙව්ලනවාය. මොකද ජිවිතයේ Undo button එකක් නැතිය.

බොහොම කණගාටුවෙන් මම මේ ටික ලියන්නේ, ඉතා දරුණු මෝටර් බයිසිකල් අනතුරුවලින් මේ වෙනකොටත් මගේ බොහොම හිතවත් හොඳම යහළුවන් තිදෙනෙකු ජිවිතයට සමු දී ඇත.

ඔබට ස්තුතියි.

ඊළඟ සතියේ හමු වෙමු.

මීට,

ටික්කා...