ටික්කා 2012 වසරේ දී සුප්‍රසිද්ද WEST-HAM පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාංගන පරිශ්‍රයේ තිබෙන ඔවුන්ගේ CLUB එකේ DJ කරන අතරතුර ගන්නා ලද චායාරූපයකි. |
මේ සිද්දියට පාදක වන්නේ 1993 ත් සහ 1997 වසරේ අවසානය දක්කවා කාලයයි.
මගේ මිතුරන් සහ මමත් ඔය කාල වකවානුවේ ඉංග්‍රීසි සංගීතයට ඉතාම කැමැත්තකින් සංගීතයත් සමග ජිවත් වූ පිරිසක් වෙමු. 70's 80's 90's වගේම old school, hip hop, reggae සංගීතයට වගේම techno සංගීතයටත් බොහොම කැමතිය.
ඔය වකවානුවේම ගාලු නගරයේ විවිද කණ්ඩායම් විවිද නම් වලින් DJ කණ්ඩායම්,
-Street Strolling Dj’s
-Street Strolling Junior Dj’s (මෙය අපගේ DJ කණ්ඩායම විය)
-Air Cats Crew
-Cool Zone M2 Dj’s The Max and the Mad Mix
-Hot Kids
වගේම සංගීත කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ද කණ්ඩායම් කිහිපයක් තිබුනත් මෙමරියට එන්නේ නැත.
කෙසේ හෝ අප කිහිපදෙනෙක් එකතු වී "Red Scorpion" නමින් සංගීත කණ්ඩායමක් එකලස් කරගත්හ.
ඔය අවදියේ කණ්ඩායම් කල්ලි ගැසී නන්න පෝල් වැඩ කිරීමට කණ්ඩායම් හැඟීම 100% තිබුනත් සංගීතය සම්බන්දයෙන්නම් කණ්ඩායම් හැඟීම තිබුනේ ඍණ මට්ටමේය. යහළුවෙකුගේ ගෙදරට රැස් වී X-RAY කොළවලින් අටවගත් DRUM SET එකත් පොඩි KEY BOARD එකත් කොහෙන් හරි ඉල්ලන් ආව ගිටාර් එකත් තිබ්බට ගායකයන් දෙපල සියල්ල සිටින දවසට DRUM ගහන එකා නැත. සමහරක් දවසට ගිටාර් ගහන එකා නැත. මේ ඔක්කොම ඉන්න සමහරක් දවසට ප්‍රැක්ටිස් කරන්න යන ගෙදර එකා හොයාගන්නවත් නැත. (ඒ දවස්වල HAND PHONE යනු අති අති සුවිශේෂ, වාහනත් දෙවෙනිවෙන සුපිරි පැලැන්තියේ අයිටම්ස් එකකි :D ) එම නිසාම අපගේ මෙම සංගීත කණ්ඩායම අපගේ අනිත් මිතුරන් විසින් "හැලෙන පොල්" යනුවෙනුත් නම් කර තිබීමයි. එලෙස ඔවුන්ගේ විහිලුවට ලක්වුවත් ඔවුන් කවදාවත් අපේ කණ්ඩායම අනිත් අයගේ විහිලුවකට ලක් වෙන්නට දුන්නේ නැත. කටිං වගේම අතින් පයිනුත් අපිව ඉහලට එසවීමට අපේ මිතුරන්ගෙන් ඉතා හොඳ සපෝට් එකක් අපට ලැබුණි.
ඒ වගේම ඉන්ටර්නෙට් යනු අසා තිබෙන නමුත් මොන වර්ගයේ යකෙකුදැයි නොදන්නා දෙයක් හෙයින් ඉංග්‍රීසි සිංදුවල වචන සොයා ගත්තේ කලෙක්ෂන් දම සොයාගත් මුදලින් සේලක ගොඩනැගිල්ලේ BOOK ෂොප් එකෙන් මිලට ගත් "SMASH HIT" නැමති සුපිරි පොප් සඟරාවෙන් සහ මට මතක පරිදි මිරර් මැගසින් එකෙන්ය. එහෙම නැතිනම් කණ්ඩායමේ ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ වූ අය සින්දුව අසා ලියාගත් ආකාරයටය.
ඔය දවස්වල අපේ සංගීත ලොවේ ටොප් වීරයන් වුයේ,
-East 17
- Boy Zone
- PJ and Duncan
- Back Street Boys
-New Kids On The Block
- Hanson
- Savage Garden
-LFO
-98 Degrees
-Boyz II Men
-Take That යන අයවලුන්ය.
කෙසේ නමුත් බොක්කෙන්ම කියන්නේ ඔය කියනා ප්‍රසිද්ද ගායකයන්ගේ එවකට හිට් වූ සින්දු බොහොමයක් අපගේ කණ්ඩායම මගින් සාර්ථකව ගායනයෙන් වගේම වාදනයෙනුත් ඉදිරිපත් කිරීමට හැකි වීමයි.
කෙසේ හෝ අපගේ සංගීත කණ්ඩායම වැටෙන හැලෙන පොල් වශයෙන් ඔහේ ගියේ අප සියලුම දෙනාට අපොස සාමාන්‍ය පෙළ කෙසේ හෝ ගොඩ දාගතයුතු නිසාවෙනි.
එම විභාගයෙනුත් පසුව එළබි නිවාඩු කාලයත් ඔහේම ගොස් අපගේ ප්‍රථිපල වලට අනුව මිතුරන්ගෙන් තුං හතර දෙනෙක් ඇරුණු කොට අප සියලු දෙනාටම උසස්පෙළ කිරීමට වාසනාව ලැබී තිබුණි.
අප ලඟින් ආශ්‍රය කල මිතුරන් හතර පස් දෙනෙක් හැරුණු කොට (ඔවුන් උසස්පෙළ ගණිතය සහ විද්‍යාව තෝරාගෙන තිබුණි) අප සියලුම දෙන වාණිජ අංශයට ගියේය.
සංගීතයත් වැටෙන පොල් වගේම වැටෙනවාය. හැම ශිෂ්‍ය විදුහල්පති රැස්වීමකදී සුපුරුදු පරිදි මිතුරන්ගේ විසිල් අප්පුඩි සහ ගුරුතුමී ගුරුතුමන්ලාගේ රික්වෙස්ට් ගීත ගායනා මැද ඕල්කට් ශාලාවේ මම ගීත ගායනා කරනවාය.
ඔය අවදියේ අපිට ඉතාමත් හොඳ අවස්තාවක් එනවාය. එයනම් 1997 වසරේ මහින්ද විද්‍යාලයේ "වාණිජ දිනය" දිනය වෙනුවෙන් (අපගේ බැජ් එක 1999 කොමර්ස් උනත් අපගේ හැකියාව නිසා) මෙම වසරේ පැයක කාලයක් සංගීතයෙන් එම උත්සවය නියෝජනය කිරීමට පැමිණෙන හැම පාසලක්ම රසවත් කිරීමට අපට ඔන්න අවස්ථාවක් එනවාය.
හිතුවද වැඩිය වැඩේ බොහොම දරුණුය. X-RAY එකට තැලූ පරිදි මෙය කල නොහැක. මෙයට LIVE සවුන්ඩ් ප්‍රක්ටිස් යා යුතුය. එව්වා මිල අදිකය. එවකට ඇති නවීන මියුසික් ස්ටුඩියෝවක් කල KRISTO අයියා ගේ තැන දවල් හීනයක් පමණි.
ඒ වගේම එවකට පෙට්ටිගලවත්තේ "ශාන්ත" අයියාගේ ස්ටුඩියෝවත් පැයකට (ඔන්න මතක් උනා. ඔහුගේ සංගීත කාණ්ඩයක HARLEM BLACK BIRDS ය) සුපියල් ම 300/- ය කරනවාය. ඒ සංගීත භාණ්ඩ 3ක් සහ මයික් දෙකක් සඳහා පමණි.
එහෙත් Street Strolling Dj’s අපේ ලොකු අයියලා disco කිරීම සඳහා SOUND සෙට් අප් රෙන්ට් කරන්නේ ශාන්ත අයියාගෙන් නිසා අවුලක් නැහැ තියෙන ගානක් දීල යන්න තියරියට සතියට දෙවරක් වරකට පැය දෙකක් වශයෙන් අවස්ථාව ලැබුණු නිසාත් එම අවසරයෙන් අප උපරිමය ගත්ත නිසාත් අප ප්‍රැක්ටිස් වෙන හැටි බලා හිඳින HARLEM BLACK BIRDS කණ්ඩායමත් අපගේ දක්ෂතාවයන් අගය කල නිසාත් දැන් අප 90% ක් පමණ වාණිජ දිනයට මුහුණ දීමට සුදානමින් සිටිමු.
සිංහල ගීතත් (ප්‍රියා සුරියසේන, ගුණදාස කපුගේ යන මහත්තුරු ඇතුළුව), ඉංග්‍රීසි සින්දු කිහිපයකුත් රෙඩිය.
ඔය අතරේ අප මිතුරන්ගේ ෆේමස් ම ගායකයා වන BOB MARLEY ගේ සින්දුවක් ගායනය කිරීමට මිතුරන් අතරින්ම නොවැලක්විය හැකි රික්වෙස්ට් එකක් එනවාය. එකෙක් පැවසුවේ එය කල නොහැකිනම් එදාට අපිව කුජිත කරන බවය. පටන් ගත්ත වෙලේ සිට හූ කියන බවය.
මම ඔවුනට පැහැදිලි කලේ "යකෝ ජාතික ගීය මුලින්ම ගායනය කල මේ ඕල්කට් ශාලාවේ බොබ් මාලිගේ සින්දු කිව්වොත් මට මගේ ශිෂ්‍ය භාවය අහෝසි වෙනවා" කියලාය.
කොහෙද ඉතින් උන් ඔක්කොම කම්මලේ බල්ලෝ පරිදි ඔවුන්ගේම මතයේ සිටින බැවින් ඉස්කෝලෙන් එලෙව්වත් බොබ් මාලිගේ ගීතයකුත් ප්‍රැක්ටිස් කාලය.
මේ අතර වාණිජ අංශයේ අනිත් මිස් ල සර්ලා සමග සියලුම දෙනා එක එක වැඩසටහන් සංග්‍රහ කිරීම් වගේම අපි සැවොම බලාගෙන සිටින්නේ මොන මොන බාලිකා පාසල් වලින් කොච්චර එනවාද කියලාය.
ඉස්කෝලෙට මොක උනත් මෙම අවස්ථාව, සංගීතයෙන් ගාල්ලේ ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලවල බාලිකාවන්ගේ ඉදිරිපිටම අපිට කලර්ස් පෙන්වීමට පොරවල් වීමට හැකි එකම අවස්ථාව වෙනවාය.
ඒ වගේම මෙම දිනය සඳහා සවුත්ලන්ඩ්ස්, කොන්වන්ට්, සංගමිත්ත, රිපන්, සියලුම බාලිකා විද්‍යාල වල සහබාගිත්වය කන්ෆර්ම් ය.
අපේ දැන් කට කනේය.
ඔන්න එදා වාණිජ දිනයය. මිතුරෙකුගේ වෑන් රථයකින් ශාන්ත අයියගේ ස්ටුඩියෝ වෙන් ත්‍රී පීසස් සවුන්ඩ් සෙට් අප් එකක් සංගීත භාණ්ඩ සමගම විදුහලට පැමිණ ශාන්ත අයියා විසින්ම අටෙව්වාය.
අප ශාලාවේ නොහිටියත් දැන් අපගේ ශරීර කූඩුව වෙව්ලනවාය. තොල කට වේලිලා. වාණිජ දිනය ඇති උත්කර්ෂවත් අන්දමින් ඕල්කට් ශාලාවේ පැවැත්වෙමින් තිබෙන මේ අවස්ථාවේ ඇතුලේ මයික්‍රෆෝන් එකෙන් කතා කරන සද්දය ඉස්කෝලය දෙදරවමින් පිටටටත් අසෙනවාය. මට දැන් මතක් වෙන්නේ මමත් මාළු පාන් නමැති අනිත් සහෝදර ගායකයා කියන ගීතත් මෙලෙසම මහා හඬින් එලියට ඇසෙනා බවය. මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඒකත් එම සද්දයෙන්ම ඇසෙනා බවය.
දැන් දවල් 12 ය. 12.15 ට භෝජන සංග්‍රහය බැවින් අපේ සංගීතය අරඹ කල යුතුය.
ටෙස්ටින් වන්.. වන්.. ටූ.. ත්‍රී.. කී බෝර්ඩ් එකයි, බේස් ගිටාර් එකයි ලීඩ් ගිටාර් එකයි මයික් දෙකයි රෙඩිය. මාළු පාන් ට (අපේ අනිත් ගායකයා) ඇත්තේ හොටෙල් කැලිෆෝනියා ගීතය ගායනය කිරීම සහ Savage Garden ගේ TRULLY MADLY DEEPLY ගීතය මම සමග ගයන කිරීමත් සහ ඉතුරු සියලු ගීත මම තනිවම කණ්ඩායම් සංගීතය සමග ගායනය කිරීමය.
දැන් ඔක්කොම සෙට් ය.
මුලින්ම ප්‍රියා සුරියසේනගේ "ඈත රන් විමන් දොරින්" ගීතය අවසන් කල මට දෑස අදහා ගත නොහැක. අප්පුඩි විසිල් ඔක්කොම අතරින් කමෝන් ටික්කා...කමෝන් ටික්කා...කමෝන් මාළු පාන්.. වෙල්ඩන් 99.. කියමින් නටන ප්‍රීති ගෝෂා නගන අපේ මිතුරන් සමග රිච්මන්ඩ් ඇලෝසියස් විද්‍යාලෝක මිතුරනුත් නටනවාය.
සිංහල සිංදු දෙකකින් සහ ඉංග්‍රීසි සින්දු තුනකින් පසුව අපට විනාඩි 15ක විරාම කාලයක් ලැබෙනවාය.
දැන් බ්රේක් එකය....
එලියට ආ සමගින් ගුරුභවතුන් වගේම මිතුරන් අපි වට කරගෙනය. ශාලාවේ සිටිනා අපගේ මිතුරන්ට අනිත් ඉස්කෝල වලින් පැමිණි මිතුරන් කියන්නේ මේ අපි කලින් පටිගත කල සින්දු මිසක් මේ ලයිව් ප්‍රෆෝමන්ස් නෙමෙයි කියලාය.
එහෙම කියපු එකෙකුට හොම්බ ගැලවෙන්න ගහන්නත් ගිහිල්ලය.
දැන් අයෙත් ස්ටේජ් එකට යන්න ඇතුලට යන ගමන් මාළු පාන් මට පොඩි කොළ කෑල්ලක් දෙන ගමන්
මාළු පාන් - "ටික්ක මේ, අර බොබ් මාලිගේ සින්දුවේ අන්තිමට කියන්න තියෙන ටිකේ මේ පේලි දෙක කියන්නම ඕන හොඳේ"..
මම - "මේ මොන %776%$ යකෝ මේ ලියල තියෙන්නෙ.. මම මේ බොබ් මාලි කියන්න ගිහින් ඉල්ලන් කන්න යන වෙලාවේ මෙව්ව කියන්න මතක් වෙන එකක් නැහැ බං"
මාළු පාන් - "නෑ නෑ උබට කියන්නම වෙනවා.. වෙනවාමයි.."
මම - "හරි හරි. කියන්නම්. බොල දාන ලෙඩ"
දැන් පිංවතුනි. මම ලැහැස්ති වෙන්නේ අවසාන සින්දුව කීමටය.
මයික්‍රෆෝනය අතටගත් මාළු පාන් දැන් මෙසේ අමතනවාය ..
Thank you.. Thank you.. Thank you so much Ladies and Gentlemen. We are "Red Scorpions" and this is our last song, sang by the legend of reggae music. Bob Marley’s No Woman No Cry.
And this song is specially dedicate to all of our 99 commerce batch mates and Im gonna hand over the microphone to my brother Tilan to rock the stage..!!
ඇඟපත සීතල වී මෙය මගේ මේ විද්‍යාලයේ අවසාන දිනය කියා සිතට ගමින් මා ඔන්න ගීතය ගයනා කරනවාය.
මේ අතර වාරයේ මා ගීතය ගායනා කරන අතර තුර මාළු පාන් නැවතත් මා අසලට පැමිණ වයර් එකක් හදන පරිදි මගේ කනට කර අරක කියපං කියමින් අර කොළ කෑල්ල මගේ අතට දුන්නාය.
දැන් ඔන්න ටිකෙන් ටික මම සින්දුවේ BRIDGE එකට එනවාය. මම ආයෙත් ගායනය කරනවාය..
Oh, while I'm gone…,
Everything's gonna be all right!
Everything's gonna be all right!
කියා මම ඔන්න මගේ suicide note එක ගයනවාය...
Everything's gonna be all right!
Everything's gonna be all right!
Mahindians are Top Today… yeah..!
Celebrating their commerce day..
No Woman No Cry..!!
කියනවාත් සමගම මාළු පාන් ඇතුළු මුළු සංගීත කණ්ඩායමම අයෙත් මුළු bridge එකම ආයෙත් ගැයුවාය..
ඔහෙලට කියන්න පින්වතුනි. එම අවස්ථාව මගේ ජිවිතේ (මට වගේම මාළු පාන්ටත් සහ සංගීත කණ්ඩායමටත් එහෙම හිතෙන්ට ඇතිය) මම දෙවෙනි වරට ලැබුණු හොඳම ප්‍රතිචාරය වගේම ආයේ ලබන්ට නොලැබෙන අත්දැකීමකි.
සියලුම ප්‍රතිචාර අප්පුඩි කෑගැසීම් විසිල් මැද "වන් මෝ.. වන් මෝ.." කියල කෑ ගැසුවත් කාල වෙලා අනුව අපිට තවත් සින්දු කීමට බැරි උනත් (අනික ඉතින් අපිට තව සින්දු කියන්ට තරම් සවුන්ඩ් ප්‍රක්ටිස් කරන්න සල්ලි නැති උන එක වෙනම කතාවක්..),
සියලු අම්පන්න එකලස් කරගෙන ස්ටේජ් එකෙන් එලියට එන අපිට ගුරු භවතුන් සමග මිතුරන් අනිත් ඉස්කෝල වල බාලක බාලිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වලට අනුව ඔවුන් පැවසුවේ මෙම වාණිජ දිනය ඔවුනට කවදාවත් කමතක කල නොහැකි දිනයක් බවයි.
එක ගුරුතුමෙක් පමණක් පැවසුවේ "ටිලාන් අර අන්තිමට කිව්වා සින්දුවනම් පොඩ්ඩක් අප්සට්. ඒත් ඔහෙලා මාර බඩු තමයි හොඳේ. කවුද දන්නෙ ඔහෙලට ඔච්චර හැකියාවක් තියෙනව කියල. විදුහල්පති තුමත් කියනවා ඇහුන මට මේකනම් උසස් අන්දමට කල වාණිජ දිනයක්" කියලාය.
අපි බලමු ලබන අවුරුද්දේ මිට වැඩිය හොඳට කරන්ට කියලත් එතුමා කීවාය.
ඔය ඕල්කට් ශාලාවේ ඉතිහාසය ගැන කියනවනම් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථම වතාවට ගායනය කරලා තියෙන්නේ ඔය ශාලාවේ වෙදිකාවේදිමය..
ENGLISH DAY එකට සහ මේ වගේ MATHS, SCIENCE, COMMERCE හෝ ART DAY වලට පමණක් හෝ විශේෂ දවසකට සංගීත සංදර්ශන වගේ උළෙලවල් පැවතුනත් මම දන්නා පරිදි BOB MARLEY ගේ ගීතයක් ගයනා කර ඇත්තේ මෙම ලියුම් කරු ටික්කා විසින් පමණි. ඒ ගැන අදටත් මට ඇත්තේ අහිංසක සන්තෝසයකි.
මීට,
ටික්කා..
- ඉවරයි කිව්වට ඉවර නෑ.. තව තියෙනව..ඉතුරු කොටස ලබන සතියට. -